brand logo

පුලියන්කුලමට බෝම්බ ගෙනා සැකකරුවෙකු පැය 72 ක් රඳවා ප්‍රශ්න කිරීමට අවසර

07 January 2019

පුලියන්කුලමේ බෝම්බ ගෙනා සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවෙකු අධිකරණයට ඉදිරිපත් කරයි. වවුනියාව,පුලියන්කුලම,පුදූර් ප්‍රදේශයේදී බෝම්බ හා පිස්තෝල ඇතුළු උපකරණ රැසක් ගෙනා සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ඊයේ(06) වවුනියාව මහේස්ත්‍රාත්වරයා වෙත යොමුකළ බව වවුනියාව පුලියන්කුලම පොලිසිය පවසයි. පොලිසිය පැවසූවේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු එල් ටි ටි සාමාජිකයෙකු එලෙස අධිකරණය වෙත ඉදිරිපත් කළ බවයි. සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය 72 ක කාලයක් රඳවා ප්‍රශ්න කිරීමට අවසරය ලබාගත් බවද පොලිසිය පැවසීය. පසුගිය 02 වැනිදා වවුනියාව,පුලියන්කුලම පුදූර් ප්‍රදේශයේ නාදුනන පුද්ගලයෙකු බෑගයක් සමඟ ගමන් කරන බවට ලද තොරතුරක් මත පුලියන්කුලම පොලිසිය අදාළ පුද්ගලයා පරීක්ෂා කිරීමට යාමේදී සැකකරු බෑගය දමා පළාගොස් තිබු අතර,එහිදි අදාළ බෑගයේ තිබි අත්බෝම්බ හතරක්,පිස්තෝලයක්,පිස්තෝල පතුරම්,දුරකථන දෙකක්,සූර්ය‍කෝෂ මගින් ක්‍රියාත්මක දුරකථන චාර්ජර් හා අධි ප්‍රෝටීන පෙති ඇතුළු උපකරණ රැසක් සොයා ගනු ලැබීය. අදාළ දුරකථන තුළ එල් ටි ටි ක්‍රියාකාරකම් සහිත විඩීයෝ තිබි ඇති බවද ආරක්ෂක අංශ පැවසූහ. සිද්ධිය සම්බන්ධයෙන් පුලියන්කුලම පොලිසිය,වවුනියාව පොලිසිය,ආරක්ෂක බුද්ධි සේවාවන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි. වවුනියාව - මාධව කුලසූරිය
 

More News..