brand logo

පුරවැසි පනත සම්මත වීමෙන් පසු ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් ලක්ෂයක් මෙරටට එවන්න සූදානම්

14 December 2019

ඉන්දියාව පසුගියදා සම්මත කළ පුරවැසි සංශෝධන පනතට අනූව එහි කඳවුරුවල සිටින ශ්‍රී ලාංකික සරණාගතයන් ලක්ෂයකට ආසන්න පිරිසක් එරට සමාජ ක්‍රියාකාරීන්ගේ විරෝධය මැද යළි මෙරටට පිටුවහල් කිරීමේ සූදානමක් ඇත. එහෙත් ශ්‍රී ලාංකීය සරණාගතයන් සම්බන්ධයෙන් මෙම පනතේ නිශ්චිත සඳහනක් නැතැයි නුවර එළිය දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී වී. රාධාක්‍රිෂ්ණන් ‘අරුණට’ ප්‍රකාශ කළේය. මෙම සරණාගතයන් ශ්‍රී ලංකාවට පිටුවහල් නොකර ඉන්දියාවේ පුරවැසිභාවය ලබා දියයුතු බවද මෙරටට පැමිණීමට එම සරණාගතයින් කැමැත්තක් නොදක්වන බවද මන්ත්‍රීවරයා කීවේය. කෙසේ වෙතත් ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකීය සරණාගතයන් සියලු දෙනා යළි මෙරටට ගෙන්වා ගත යුතු බව උතුරු පළාත් හිටපු ප්‍රධාන ඇමැති විග්නේශ්වරන් ද්‍රවිඩ මාධ්‍යට ප්‍රකාශකර තිබිණි. අසූ තුනේදී ඉන්දියාවට ගිය මෙරට ද්‍රවිඩයන් මෙසේ සරණාගතයන් ලෙස කඳවුරු කිහිපයක සිටින අතර එහිදී උපත ලද ඔවුන්ගේ දරුවන්ට රටවල් දෙකේම පුරවැසිභාවය හිමිව නැතැයිද පැවැසේ. ඉන්දියාවේ නව පුරවැසි පනතට අනූව ආගමික ගැටුම් නිසා සරණාගතයන් ලෙස එහි පැමිණ සිටින බෞද්ධ, හින්දු සහ කතෝලිකයන්ට පමණක් පුරවැසිභාවය ලැබෙනු ඇතැයිද මුස්ලිම් ජාතික සරණාගතයන් ඉන්දියාවෙන් පිටව යායුතු බවද ඉන්දීය මාධ්‍ය වාර්තාකර තිබේ. ශ්‍රී ලාංකික සරණාගතයන් එහි පැමිණ ඇත්තේ ආගමික ගැටුම් නිසා නොව රටේ පැවැති දේශපාලන ගැටුම් නිසා බැවින් ශ්‍රී ලාංකීය සරණාගතයන්ද මෙම පනතට අනුව ඉන්දියාවෙන් පිටව යායුතුව ඇතැයිද ඊට තම විරෝධය දක්වන බවද එරට සමාජ ක්‍රියාකාරීන් පවසයි. ඉන්දියාවේ සම්මත වූ මෙම පුරවැසි පනත සම්බන්ධයෙන් පසුගියදා එරට පාර්ලිමේන්තුව වන ලෝක් සභාවේදී ද විශාල විරෝධයක් එල්ල විය. ශ්‍රී ලාංකීය සරණාගතයන් පිරිස මෙරටට ගෙන්වා ගැනීම සඳහා ඉන්දීය රජය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග ඉතා ඉක්මනින් සාකච්ඡා කිරීමට තම පක්ෂය කටයුතු කරන බව ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා ප්‍රකාශ කළේය. මෙම සරණාගතයන් මෙරටට ආ පසුව ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීම සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා දැනුවත් කරන බව හෙතෙම කීවේය. අජිත් අලහකෝන්
 

More News..