brand logo

පුපුරන ද්‍රව්‍යවලට යොදන ඇසිඩ් වර්ගයක් සමග මහනුවර ව්‍යාපාරිකයා දැලේ

15 August 2019

පාස්කු ඉරිදා ප්‍රහාරයට පුපුරන ද්‍රව්‍ය සෑදීම සඳහා යොදාගත් වර්ගයේ නයිට්‍රික් ඇසිඩ් හා සල්ෆියුරික් ඇසිඩ් සඟවා තැබූ ව්‍යාපාරිකයකු මහනුවර ඇසළ පෙරහර සෝදිසි කිරීමේ රාජකාරිවල නිරත විශේෂ කාර්ය බළකා භට පිරිස් විසින් අත්අඩංගුවට ගෙන ඇත. සල්ෆියුරික් ඇසිඩ් කිලෝග්‍රෑම් 140ක් හා නයිට්‍රික් ඇසිඩ් කිලෝග්‍රෑම් 225ක් සොයාගෙන ඇත්තේ මහනුවර, සේනානායක වීදියේ සුන්දරම් ස්ටෝර්ස් නමැති වෙළෙඳසලෙනි. මහනුවර විශේෂ කාර්ය බළකා කඳවුරේ උප පොලිස් පරීක්ෂක ආර්.ටී. පේරගස්තැන්න ඇතුළු කණ්ඩායමක් ඇසළ පෙරහර සෝදිසි කිරීමේ රාජකාරියේ යෙදී සිටියදී මෙම ඇසිඩ් තොග සොයාගෙන ඇත. පාස්කු ඉරිදා ප්‍රහාරයේදී අන්තවාදීන් විසින් පුපුරන ද්‍රව්‍ය සෑදීමට සල්ෆියුරික් අම්ලය, නයිට්‍රික් අම්ලය, යූරියා, හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්, විශාල අයිස් කුට්ටි, ඩෙටනේටර්, වෝටල් ජෙල් හා නයින් වෝල්ට් බැටරි යන වර්ග නවය යොදාගත් බව රස පරීක්ෂක වාර්තාවලින් තහවුරු විය. මේ අනුව දිවයින පුරා කරන සෝදිසි මෙහෙයුම්වලින් මේවා සැක සහිත ලෙස ගබඩා කර ඇත්නම් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස් මූලස්ථානය මැයි මස මුල සතියේම සියලුම පොලිස් ස්ථානවලට විශේෂ පණිවිඩයක් මගින් දැනුම් දී තිබුණේය. මහනුවරදී අත්අඩංගුවට ගත් සැක කටයුතු දේ ගැන විමර්ශන මහනුවර පොලිසියට භාරදී ඇත. තිස්ස රවීන්ද්‍ර පෙරේරා
 

More News..