brand logo

පුපුරණ ද්‍රව්‍ය යොදා ඇල්ලූ මසුන් කිලෝග්‍රෑම් 1355 ක් නාවික හමුදා බාරයට

19 July 2019

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජූලි 18 වන දින ත්‍රිකුණාමලය, රාල්කුලි ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය යොදා ඇල්ලූ මසුන් තොගයක් සමඟ පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා බාරයට ගෙන ඇත. ඒ අනුව නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් රාල්කුලි ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී පුපුරණ ද්‍රව්‍ය යොදා (ඩයිනමයිට්) ඇල්ලූ මසුන් කිලෝග්‍රෑම් 1355 ක් සමඟින් පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා බාරයට ගෙන ඇත. මෙම මසුන් තොගය ලොරි රථයක් මඟින් ප්‍රවාහනට සුදානම් කර තිබියදි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට පත් පුද්ගලයින් වයස අවුරුදු 23, 27, 35, 37 සහ 72 වන වියෙහි පසුවන මුතුර් ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත. අත්අඩංගුවට ගත් පුද්ගලයින්, මසුන් තොගය සහ ලොරි රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය, සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි. තවද, මෙවැනි පුපුරණ ද්‍රව්‍ය යොදා නීති වි‍රෝධී ලෙස මසුන් ඇල්ලීම හේතුවෙන් ශ්‍රී ලංකාව වටා ඇති සාගර කලාපයේ මත්ස්‍ය සම්පත මෙන්ම සාගර සම්පත දැඩි ලෙස විනාශවිමේ තර්ජනයට ලක් වන අතර, එබැවින් නාවික හමුදාව මෙහෙයුම් ක්‍රියාත්මක කර මෙවැනි නීති විරෝධී ලෙස මසුන් අල්ලන පුද්ගලයින් නීතියේ රැහැනට හසුකර දීමට නිරන්තරයෙන් කටයුතු කරමින් සිටි. තවද, පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලීම තුලින් සුන්දර කොරල්පර පද්ධතිය විනාශවිමට සෘජුවම බලපාන අතර, ශ්‍රී ලංකාව වටා ඇති සාගර සම්පත් මතු අනාගතය වෙනුවෙන් සුරක්‍ෂිත කිරීම ශ්‍රී ලංකාවාසි අප සැමගේ වගකීමක්ව පවති.
 

More News..