brand logo

පුද්ගලයෙකු මිය යාමේ සිද්ධියකට පුත්තලම ප්‍රා.සභාවේ උප සභාපති අත්අඩංගුවට

22 January 2019

පුත්තලම ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයාව මුන්දලම පොලීසිය විසින් පසුගිය 21 වැනිදා සවස අත්අඩංගුවට ගෙන ඇත. ඉදිකරමින් තිබූ මාර්ගයක අනතුරු දායක වළකට වැටී පුද්ගලයෙකු මිය යාමේ සිද්ධියක් ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයාව අත්අඩංගුවට ගැනීමට හේතුව වී ඇති බව පොලීසිය කියයි. මිය ගොස් ඇත්තේ මදුරන්කුලිය - සුහදගම පදිංචිව සිටි වර්ණකුලසූරිය නිලන්ත ප්‍රනාන්දු (අවු:32) නම් අයෙකි. පුත්තලම ප්‍රාදේශීය සභාවට අයත් සෙම්බැට්ටේ - වේලාසිය මාර්ගය මේ දිනවල ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කර ඇත.එම මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේදී බෝක්කුවක් ඉදිකිරීම සදහා විශාල වළක් කපා ඇතත් ඒ බව දැක්වෙන අනතුරු දායක බව හගවන පුවරු කිසිවක් සවි කර තිබී නැත.එම මාර්ගයේ පයින් ගමන් කරමින් සිටි අයෙකු එකී අනතුරු දායක වළට 20 වැනිදා රාත්‍රීයේ වැටී තුවාල ලබා ඇත.ඔහුව පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටින අතර තුර 21 වැනිදා මිය ගොස් ඇත. මෙම මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේ කොන්ත්‍රාත්තුව ලබා ගෙන සිට ඇත්තේ පුත්තලම ප්‍රාදේශීය සභාවේ උපසභාපතිවරයා විසින් බවට විමර්ශණ වලදී අනාවරණය වී ඇත. මාර්ගයක් ප්‍රතිසංස්කරණය කරන විට අනතුරු හගවන පුවරු සහ විකල්ප මාර්ග දැක්විය යුතු නමුත් කොන්ත්‍රාත්කාර උප සභාපතිවරයා එය පැහැර හැර ඇති බව විමර්ශණ වලදී හෙලිවී ඇතැයි පොලීසිය කියයි. සැකකාර ප්‍රාදේශීය සභා උප සභාපතිවරයා පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. මුන්දලම පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි. ජුඩ් සමන්ත
 

More News..