brand logo

පුතේ යුද්දෙ ඉවරයි මරණ බයෙන් රටම නිදහස් කියලා තාත්තා කියද්දි මගෙ ඇස්වලට කඳුළු පිරුණා

22 December 2019

කන්ත​ලේ රජවැව ගමේ ප්‍රදීප් කුමාර ඉපදෙන්නේ අසූ දෙක වසරේ සැප්තැම්බරයේය. ඒ රියැදුරකු වූ සුසිල් කුමාරතිලක හා රාණි චන්ද්‍රලතාගේ වැඩිමල් දරුවා විය. නංගී කෙනෙකුන් හා මල්ලී කෙනෙකුන්ද සිටින ප්‍රදීප් කුමාර ඉගෙන ගත්තේ කන්තලේ බණ්ඩාරනායක විද්‍යාලයෙනි. ‘‘සාමාන්‍ය පෙළට ලියලා කන්තලේ ටවුමෙ සේල්ස් රෙෆ් වැඩක් කළා. ඩිපෝවේ මිකැනික් කෝස් එකකුත් කළා. ගමේ කොල්ලො හදපු ‘‘යුනීයන්’‘ සංගීත කණ්ඩායමේ බේස් ගිටාර් වාදකයා විදිහට හිටියෙ, බේස් ගිටාර් එක මට හොඳටම පුළුවන්. මම හමුදාවට බැඳුණෙත් ඒ නිසයි.’’ දිද්දෙණිපොත ගමගේ චමිල ඉන්දික ප්‍රදීප් කුමාර ජාතික ආරකෂක බලමුළුවෙ 12 වැනි ඒකකයේ සංගීත කණ්ඩායමේ වාදකයකු ලෙස බැඳෙනුයේ 2004 වසරේ මැයි මාසයේ 20 වැනිදාය. ඔහු පුහුණුව ලැබුවේ පල්ලේකැලේ පුහුණු කඳවුරෙනි. අනතුරුව කන්තලේ ජයතිස්ස ගම 12 වැනි ජාතික ආරක්ෂක බළමුළුවේ ගබඩා ලිපිකරු සෙබළකු ලෙසත්, සංගීත කණ්ඩායමේ වාද්‍ය ශිල්පියකු ලෙසත් සේවා කටයුතු ඇරඹුවේය. ‘‘2006 යුද්ධයේ තීරණාත්මක අවුරුද්දක්. මාවිල් ආරු මෙහෙයුමත් එක්ක අපි හිටපු 12 වැනි ජාතික ආරක්ෂක බළමුණුවටත් තීරණාත්මක බරපතළ වගකීම් දරන්න සිද්ධ වුණා. ඒ නිසා අපේ ආර්මි බෑන්ඩ් එකේ වැඩ නැවතිලා අපිත් මාවිල් ආරු මෙහෙයුමට සම්බන්ධ වුණා. 2006 වසරේදී මාවිල් ආරු සොරොව්වේ බලය අත්පත් කරගත් කොටි ත්‍රස්තවාදීන් සොරොව්ව වසා දැමුවේ ඒ අවට සිටි දහස් ගණන් දෙමළ සිංහල ජනයා අසරණ කර දමමිනි. කොටින්ගෙන් මාවිල් ආරු මුදා ගැනීමේ සටන ඇරඹුණේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය නිමාකිරීමට මුල් වූ මානුෂීය මෙහෙයුමේ ආරම්භය ලෙසිනි. ‘‘මාවිල් ආරු මෙහෙයුමත් එක්ක අපිට භාර වුණා, සේරුවිල කන්තලේ ප්‍රධාන මාර්ගයේ ආරක්ෂාව භාර ගන්න. හමුදා සැපයුම් යැවිය හැකි ආරක්ෂක මාර්ගයක් බවට එය පත් කරන්න හැමදාමත් පාන්දර මාර්ගය පරීක්ෂා කිරීමේ කටයුතුවල අපි යෙදුණා. මාවිල් ආරු මෙහෙයුම ඉදිරියට යද්දී ඒ මෙහෙයුමට අවශ්‍ය අවි ආයුද ආරක්ෂා කරදීමේ වගකීමත් අපිට පැවරුණා. එහිදී කාලතුවක්කු මල්ටි බැරල් අවි ආරක්ෂා කර ගැනීමේ වගකීමත් තිබුණා. සිංහල හමුදාවේ බලය එල්.ටී.ටී.ඊ. යට පෙන්වමින් මාවිල් ආරු බලය යළි හමුදාව අතට පත් වූයේ දිවි පරදුවට තබා එල්.ටී.ටී.ඊ.ය හා කළ මාවිල් ආරු සටනින් පසුවය. ඒ සටනින් පසු නැවතත් චමිල ඉන්දිකලා ඔවුන්ගේ මව් ඒකකයේ වැඩ සඳහා යෙදවිණි. ඒ අවස්ථාවේ නැවත ඔහුට කරන්නට සිදු වූයේ කාර්යාල කටයුතුය. ‘‘ඔය විදිහට රාජකාරි කරගෙන ඉන්න කොට කොටි ත්‍රස්තවාදය අවසන් කර දමන්නට සිදු කර ගෙන ගිය මානුෂීය මෙහෙයුමේ ඉදිරි මෙහෙයුම් සඳහා අපේ ඒකකයෙනුත් සෙබළුන් අනුයුක්ත වුණා. ඒ අනුව 2008 දී 19 වැනි පාබල හමුදාවට මාවත් අනුයුක්ත වුණා. ඒ වෙද්දි යුද්දෙ තීරණාත්මක තැනක තිබ්බෙ. මටත් වුවමනාව තිබ්බා කාර්යාලයක් ඇතුළේ ලියකියවිලි එක්ක ඉන්නවටත් වඩා බේස් ගිටාර් එකත් පැත්තක තියලා යුද්දෙට ගිහින්, යුද්දෙ දිනුවට පස්සේ බෑන්ඩ් ගහන්න. ඒ නිසා මමත් හරිම කැමැත්තෙන් 19 වැනි පාබල හමුදාවට සම්බන්ධ වුණා. යාපනේ තුනුක්කායි, මල්ලාවිවල ඉදිරි පෙරමුණේම සටනේ අපි හිටියා. ඒ වෙනකොට ඇත්තටම ගිටාර් එක මට අමතක වෙලා. කොහොම හරි මේ යුද්දෙ දිනනවා කියලා ඒ හිටපු හැ​මෝටම ලොකු විශ්වාසයක් තිබ්බ. ඊට තවත් හයියක් වුණේ මේජර් ජෙනරාල් ජගත් ඩයස් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න වගේ සෙන්පතියො යුද පිටියේම රැඳෙමින් අපිට දීපු ශක්තිය. 2009 මැයි මාසේ පළමු සති දෙක යුද්ධෙ දරුණුවටම තිබුණා. අඟලෙන් අඟල හරි ඉදිරියට යන එකයි අපේ එකම බලාපොරොත්තුව වුණේ.’’ එදවස වූ නන්දිකඩාල් කලපුවේ ආසන්නයේ වූ දරුණු යුද්ධයේ ප්‍රදීප් කුමාර ඇතුළු විරු දරුවන්ද සටනේ නිරතව සිටියහ. ඒ 2009 මැයි මාසයේ 17 වැනි දාය. එදවස රැය පහන් වූයේ මව්බිමෙන් ත්‍රස්තවාදය අතු ගා දැමිය හැකි බවට ඒත්තු ගන්වමිනි. ඒ වන විට ත්‍රස්තයන් පසු බැසීමේ සහ භාර වීම් ඇරඹී තිබිණි. ‘‘2009 මැයි 17 වෙනිදා නන්දිකඩාල් කලපුවට මෙහා අට දෙනාගේ කණ්ඩායමේ මමත් හිටියා. අපට ඉදිරියෙන් තවත් අටේ කණ්ඩායම් රැසක්ම හිටියා. ඒ භූමියේ ඉදිරියට යෑමේ එකම ආරක්ෂිත ක්‍රමයයි තිබ්බේ. ඒ බඩ ගාගෙන ඉස්සරහට යන එක. නැගිට්ටොත් වෙඩි වදින එක ස්ථිරයි කියලා හැමෝම දැන ගෙන හිටියා. ඒ නිසා ඉලක්කගත තැන්වලට වෙඩි තියාගෙනම අපි ඉස්සරහට ගියා. මුළු පළාතෙම ඇහුණේ වෙඩි හඬ විතරයි. මගෙ කන් පවා බ්ලොක් වෙලා තිබ්බේ. ඒ වෙනකොට මගේ අතේ තිබ්බෙ ටී 56 අවිය සහ අත් බෝම්බ. මම වෙඩි තියාගෙන ඉස්සරහට යද්දි එකපාරටම මගේ ඔළුව හිරිවැටිලා ගියා. මගෙ ඔළුවට ලොකු බරක් දැනුණා. එතැන මගේ ළඟම හිටියෙ මගේ යාළුවා හව්පගේ. මම එයාට කිව්වා මචං මගෙ ඔළුව හිරිවැටුණා. මට මොකක්ද කියලා තේරෙන්නේ නෑ කියලා. එහෙම කියලත් මං වෙඩි තියගෙන මඳක් ඉස්සී ඉස්සරහට ගියා. ඒ එක්කම මගේ ඇස් පියවිලා මුළු ඇඟම හිරිවැටිලා මාව බිමටම වැටුණා.’’ එසේ ඇස් පියවී බිම වැටුණු ප්‍රදීප් කුමාර දෛවය යළි ඇස් අරින්නට ඉඩ දුන්නේ මාස පහකුත් දින 11කට පසුවය. ඒ කොළඹ යුද හමුදා රෝහලේදීය. නන්දිකඩාල් කලපු ආසන්නයේදී සතුරන් එල්ල කළ මෝටාර් ප්‍රහාරයක උණ්ඩයක කොටස් සෙබළ ප්‍රදීප් කුමාරගේ හිසේ වම් පසින් ඇතුළු වී හිස පසාරු කරගෙන දකුණු පස හිසේ කොටසක්ද ගලවාගෙන එළියට විසිවී තිබේ. එපමණක් නොව ප්‍රදීප්ගේ පිට කොන්ද පුරා වෙඩි උණ්ඩ 7ක්ද වැදී තිබේ. සෙබළ මිත්‍රයන් වහා ඔහු ඇදගෙන පිටු පසට පැමිණ ප්‍රථමාධාර ලබාදී ගුවනින් අනුරාධපුර රෝහලටත් එතැනින් කොළඹ ජාතික රෝහලටත් යොමු කර තිබේ. දැඩි සත්කාර ඒකක ප්‍රතිකාර ලබා දීමෙන් දින කීපයකට පසු ප්‍රදීප් කුමාරව කොළඹ යුද හමුදා රෝහලට ඒවා තිබේ. ‘‘අම්මලා මම රෝහලේ කියා ආරංචිය ආ ගමන්ම කොළඹ ජාතික රෝහලට ඇවිත් තිබුණා. මම ඉතින් අම්මල දැක්කෙවත් දන්නෙවත් නෑ. අම්මා තාත්තා ගෙදර අය විතරක් නෙවෙයි අපෙ ගමේම අය මම වෙනුවෙන් මාව ජීවත් කරවන්න බෝධි පූජා කරලා තිබ්බා. පිංකම් කරලා බාරහාර වෙලා තිබ්බා. මාස 3ත් පැනලා මම කෝමා තත්ත්වෙ ඉද්දි හැමෝම හිතලා තියෙන්නෙ ආයේ ගොඩගන්න බැරි වෙයි කියලා. හැබැයි අම්මලා නෑයෝ හැමෝම දිනපතාම බෝධි පූජා ආදිය තියලා තිබුණා. කොහොම හරි වෛද්‍යවරුන්ගේ දක්ෂතාවෙන් බොහෝ දෙනාගේ ආශිර්වාදයෙන් මම තුවාලවෙලා වැටිලා මාස 5කුත් දවස් 18කට පස්සේ ඇස් ඇරල තිබුණා. ප්‍රදීප් කුමාර එසේ ඇස් ඇරියේ නමුත් සිහිකල්පනාව ඉතාම අවම මට්ටමක සිට ඇත. මේ සමස්ත කාලය පුරාම බටවලින් කෑම බීම ලබා දෙමින් ඔහුව රැක ගන්නට වෛද්‍ය හෙද හා නෑදෑ සමූහයො කටයුතු කර ඇත. ‘‘මම ඇස් ඇරියට පස්සේ සිහි මද ගතිය තිබ්බත් මා එක්ක කතා කරන්න කියා අම්මලාට කියා තිබුණා. ඩොක්ටස්ලා සිහිය නැති වුණාට එයාට කියන දේවල් තේරෙනවා කියලා. ඉතින් මා එක්ක දිනපතා කට්ටිය කතා කරලා. සිහිය ඇවිල්ලා මාස 3කින් විතර මට මතකය ලැබුණා. මම නන්දිකඩාල්වල වෙඩි වැදිලා වැටිලා මාස 8කට පස්සේ තමයි මම දැනගත්තේ දැන් මම ඉන්නේ රෝහලේ කියලා. මට නිවැරදි සිහිය ආවම තාත්තා දුවගෙන ආවා. ඇවිත් කිව්වා පුතා දන්නෙ නෑ නේද පුතේ යුද්ධෙ ඉවරයි. පුතා දුක් වෙන්න එපා. පුතාගෙ ජීවිතේ අපතෙ ගිහින් නෑ. රටේම මිනිස්සු සතුටින් ඉන්නෙ පුතේ. මරණ බයෙන් රටම නිදහස් පුතේ කියලා. මගේ ඇස්වලටත් කඳුළු පිරුණා. ඒ වෙලාවේ තමයි දන්නෙ මට වෙඩි වැදිල දවස් දෙකකින් අපි යුද්දෙ දිනපු බව. ප්‍රභාකරන් මැරිලා රටම සාමයෙන් ඉන්න බව.’’ ඒ මාරාන්තික මෝටාර් ප්‍රහාරයෙන් තුවාල ලද ප්‍රදීප් කුමාරට ප්‍රතිකාරවලින් පසු යළි පෙර ශාරීරික තත්ත්වය ලැබුවේ නැත. ඔහුට අදටත් රෝද පුටුවක කාලය ගත කරන්නට සිදුව ඇත්තේ සිරුර චලනය කිරීමට ඇති නොහැකියාව මතය. රාගම රණවිරු සෙවණේ ප්‍රතිකාර මත ටිකෙන් ටික සුව වුවත් අතපය හතරම නැවීමට දිග හැරීමට නොහැකි වුණේය. එමෙන්ම වම් අතේ උරහිසට වැදී ඇති උණ්ඩයක් නිසා අත එසවී‌මේ නොහැකියාව උරුම වුණේය. ‘‘අනුරාධපුර අභිමංසල සුව සහන නිකේතනය පටන් ගත්තම මම ඒකට යන්න කැමැතිද කියා යුනිට් එකෙන් ඇහුවා. මෙහෙ ගෙනල්ලා පෙන්නුවා. ඉතින් මම කැමැති වුණා. දැන් මම ටික ටික සුව වෙමින් ඉන්නෙ. මගේ අත් පය නවන්න කරන්න දැන් බැරි ඒ ජොයින්ට්වල කැල්සියම් බැඳිලා. ඔළුවෙ තුවාල දැන් හොඳයි. මතකයත් දැන් හොඳට තියෙනවා. මේ දවස්වල මම වෝකර් එකෙන් ටික ටික ඇවිදින්න හුරු වෙනවා. අභිමංසලේ සත්කාර නිසා මට ඉක්මනින් සුව වෙන්නත් හැකි වේවි කියන විශ්වා‌සේ තියෙනවා. ඉක්මනින් රෝද පුටුවෙන් නැගිටිනවා. දැන් අවුරුදු 10කට වැඩියිනෙ. ඉක්මනට ඇවිදින්න ඕන මගේ සිරුරේ දැන් සංවේදිතා දැනෙනවා.’’ කෝටි දෙකකට වැඩි රටවැසියන්ට නිදහස් මරණ බියෙන් තොර රටක් උරුම කර දීමට රණ බිමේ විස්කම් පෑ සෙබළ ප්‍රදීප් කුමාර ලද ලාන්ස් කෝප්‍රල් නිලයේ සිටින අතර ඔවුන් සුරැකි භූමියේ දෙපයින් හිට ගන්නා බලාපොරොත්තුවෙන් අභිමංසල සුවන සහන නිකේතනයේ අවශ්‍ය ප්‍රතිකාර ලබමින් සිටියි. මව්බිම වෙනුවෙන් කළ මෙහෙය අගයා ලාන්ස් කෝප්‍රල් ප්‍රදීප් කුමාරව සම්මාන පදක්කම් පහකින් පිදුම් ලබා ඇත. ඒ මානුෂික මෙහෙයුම උතුර, මානුෂික නැගෙනහිර, උතුරු නැගෙනහිර, පූර්ණ භූමි සහ ‍දේශපුත්‍ර සම්මානයන්ය. තවමත් වයස අවුරුදු 37 පසු නොකළ ලාන්ස් කෝප්‍රල් ප්‍රදීප් කුමාර මේ වන විට පෙම්වතෙකි. ‘‘අපේ ඩොක්ටර් ඇහුවා. ප්‍රදීප් බඳින්නෙ නැද්ද කියලා. මට හිනා ගියා. පස්සෙ අභිමංසලට අපිව බලන්න ආපු නුවරඑළියේ ගෑනු ළමයෙක් ගැන මට විස්තර කිව්වා. අපි දැනට දුරකථන පෙම්වතුන්.’’ තමන් උපන් බිමටත් දෙමාපියන්ටත් ණය නැති ප්‍රදීප් කුමාර වැනි විරුවන්ට අදත් හෙටත් ඔබේ අපේ ආශිවාර්දයත් සුබ පැතුමත් මහා ශක්තියකි. ජයන්ත සුබසිංහ
 

More News..