brand logo

පුත්‍රයාගේ විවාහ උත්සවයට සහභාගිවීමට පූජිත් පැය 60කට අධිකරණයෙන් අවසර ඉල්ලයි

17 December 2019

පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව වලක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් මිනී මැරීම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත් කර සිටින අනිවාර්ය නිවාඩු යවනු ලැබ සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ඔහුගේ පුත්‍රයාගේ විවාහ උත්සවයට සහභාගි වීම සඳහා අවසර දෙන ලෙස කරන ලද ඉල්ලීමක් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ අවධානයට යොමු කිරීමට පියවර ගන්නා බව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා  අද (17) නියම කළේය. රිමාන්ඩ් භාරයේ පසුවන තමන්ව ඇප මත මුදාහරින ලෙස ඉල්ලා අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ඉදිරිපත් කළ ඇප අයැදුම්පතක් අද කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය කෙරිණි. එහිදී පූජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා අධිකරණය හමුවේ කියා සිටියේ තම සේවාදායකයාගේ පුත්‍රයාගේ විවාහ උත්සවය ජනවාරි මස 02 වන දා පෙරවරු 6.30 ට කොළඹ ගංගාරාම විහාරස්ථානයේ පැවැත්වීමට නියමිතව ඇති බවත් ඊට අනුබද්ධ උත්සවයක් එදිනම සවස 7 ට මීගමුවේදී පැවැත්වීමට නියමිතව තිබෙන බවත් සඳහන් කර සිටියේය. එම උත්සවයට සහභාගි වීම සඳහා තම සේවාදායකයාට පැය 60ක කාලයක් බන්ධනාගාරයෙන් පිටතට යාමට අවසර දෙන ලෙස බන්ධනාගාර කොමසාරිස්වරයා ජෙනරාල්වරයාට නියෝගයක් නිකුත් කරන ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කළේය එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයට දන්වා සිටියේ එවැනි නියෝගයක් නිකුත් කිරීමට අධිකරණයට බලයක් නොමැති බවයි. එවැනි නියෝගයක් නිකුත් කිරීමට අධිකරණයට බලයක් නොමැති බව පෙන්වා දුන් විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා එහෙත් එම ඉල්ලීම බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ අවධානයට යොමු කිරීමට පියවර ගන්නා බවද විවෘත අධිකරණයේ නිවේදනය කළේය. අනතුරු ඇප පෙත්සම ජනවාරි මස 09 වනදා යළි කැඳවීමට නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එදිනට විරෝධතා තිබේ නම් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස වගඋත්තරකාර පාර්ශවයට දැනුම් දුන්නේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන්ම රිමාන්ඩ් භාරයේ පසුවන හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් ඉදිරිපත් කළ ඇප පෙත්සමද ඊයේ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී විනිසුරුවරයා නීතිපතිවරයාට නියම කළේ එම නඩුවට අදාළ විරෝධතා තිබේනම් ඒවා ජනවාරි මස 9 වනදා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසයි. (අධිකරණ වාර්තාකරු )
 

More News..