brand logo

පුජිත් හා හේමසිරි පෙබරවාරි 03වනදා දක්වා යළි රිමාන්ඩ්

20 January 2020

පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධි ලෙස රාජකාරිය පැහැර හැර මිනීමැරීම සම්බන්දයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවනු ලැබ සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරු ලබන 03 වනදා තෙක් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (20) නියෝග කළේය. පැමිණිල්ල අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී රහස් පොලිසිය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් මෙම සිද්ධියට අදාළව ඉකුත් නඩු දිනයෙන් පසුව පුද්ගලයින් 07 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව දන්වා සිටියේය. ඒ අතර හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම් .එල්. ඒ .එම්. හිස්බුල්ලා, හිටපු මධ්‍යම පළාත් සභා මන්ත්‍රී අසාද් සාලි , රවුෆ් හකීම් සහ රිෂාඩ් බදියුදීන් යන මහත්වරුන්ගේ ද ප්‍රකාශ සටහන් කර ගෙන තිබෙන බව එම වාර්තාව මගින් අධිකරණය දැනුවත් කර තිබුණි. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ හිටපු අග්රාමාත්‍යවරයාගේ ලේකම්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අවශ්‍ය බව දැනුම්දී තිබුණත් ඔවුන් මේ දක්වා දින ලබාදී නොමැති බවද එම වාර්තා මගින් අධිකරණයට දන්වා තිබේ. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් දෙදෙනා ලබන 03 දා තෙක් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ අතර එදින එම පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස රහස් පොලිසියට නියෝග කළේය. (අධිකරණ වාර්තාකරු)
 

More News..