brand logo

පී.සී.ආර්.වල ප්‍රශ්නයක්ද කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා

20 July 2020

යළිදු වරක් මුළු රට පුරා කොරෝනා වසංගත බියක් ඇතිවී තිබේ. ඊට හේතුව දවස් හැත්තෑවකට පසු බාහිර සමාජයෙන් කොරෝනා රෝගීන් හමුවීමය. මේ රෝගීන් පොකුරේ මුල කන්දකාඩු මත්ද්‍රව්‍ය නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි රැඳවූවෙක් බව සඳහන්ය. කෙසේ නමුදු පුනරුත්ථාපන බලධාරීන් කියන්නේ කන්දකාඩු මධ්‍යස්ථානයෙන් කොරෝනා පොකුරක් නිර්මාණය වීමට කිසිම හේතුවක් නැති බවය. එසේ නම් මේ පොකුර නිර්මාණය වූයේ කෙසේදැයි තවමත් අබිරහසක් බැවින් ඒ ගැන පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි සමග සාකච්ඡා කළෙමු. මේ ධුරයට පත්වීමට පෙර ඔහු යුද හමුදා යාපනය හා නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති තනතුර දැරීය. කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරෙන් දැන් නව කොරෝනා ආසාදිත පොකුරක් බිහිවෙලා තියෙනවා. කොහොමද මේ අලුත් පොකුර ඇති වුණේ? මේ ‍රැඳවූවන් අපට භාර වෙන්නේ සුදුවැල්ලේ මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් මර්දන මෙහෙයුමෙන් පස්සේ ඔවුන්ව අල්ලා නිරෝධායනය මධ්‍යස්ථානයක රඳවා තබා කොවිඩ්-19 වයිරසය ආසාදිත දැයි කරන ලද පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතිඵල අනුව කොවිඩ් ආසාදිතයින් නොවන බව තහවුරු කිරීමෙන් අනතුරුවයි. අපට දැනුම් දී තිබුණේ මොවුන් පී.සී.ආර්. නෙගටිව් නිසා පුනරුත්ථාපනයට යොමු කළ හැකි බවයි. ඒ නිසා අපි මොවුන්ට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේදී පුනරුත්ථාපන ක්‍රියාවලිය ආරම්භ කළා. අප්‍රේල් අග හෝ මැයි මාසේ මුල මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිකරුවන් ඇල්ලීමේ විශේෂ ක්‍රියාන්විතයෙන් ඇල්ලූ පිරිසක් මෙම ස්ථානයට ගෙනත් තිබුණේ. ඔවුන් දීර්ඝ කාලයක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්. ඔවුන් සාමාන්‍ය මිනිසුන් හැසිරෙන ආකාරයට නෙමෙයි හැසිරෙන්නේ. ඔවුන් තුළ තියෙන්නේ අසාමාන්‍ය චර්යා රටාවන්. සමහර පුද්ගලයන් මෙල්ල කරන්න ලේසි පාසු කාර්යයක් නෙවෙයි. සමහර අය කුඩු ඉල්ලලා කෑගහනවා. විරෝධය පළ කරනවා. බිම පෙරළෙනවා. පුදුම අරගලයක් කරන්නේ. සාමාන්‍ය මිනිස්සු වගේ නෙවෙයි, යුද හමුදාව නිසාම පාලනය කර තිබෙන්නේ. යුද හමුදාවට කළ නොහැක්කක් නොමැත කියලා තියෙනවනේ. ඒක මෙහිදීත් ඔප්පු කර තිබෙනවා. කන්දකාඩුවලදී කොරෝනා හැදුණු බවට පැවසෙන රැඳවූවා එහි ගේන්නේ කැස්බෑවෙන්. කොහොමද සුදුවැල්ලෙන් ඇල්ලූ අයගෙන් ඔහුට වැලඳෙනනේ? සුදුවැල්ල, කැස්බෑව ප්‍රදේශවල මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සොයා නාවික හමුදාව විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කළා. ඒ මෙහෙයුමෙන් අත්අඩංගුවට ගත් මත් ද්‍රව්‍යට ඇබ්බැහි වූ පිරිස් මුලතිව්වලට පිරිසකුත් වැලිකන්ද ගල්කන්දට පිරිසකුත් වශයෙන් නිරෝධායනය සඳහා යොමු කළා. ඒ දිනවල නිරෝධායන කාලසීමාව ඉවර වෙනකොට අපට ඉල්ලීම් කිහිපයක් ආවා මේ අය පුනරුත්ථාපනය කරලා දෙන්න කියලා. මොකද ගෙදරක මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙක් සිටිනවා කියන්නේ ඒ ගෙදර අය පුදුම පීඩාවක් විඳින්නේ. ඒ ඉල්ලීමේ අනුව තමයි අධිකරණ නියෝග මත අපට මේ පිරිස යොමු වුණේ. මේ අය අවශ්‍ය කරන නිරෝධායන කාලසීමාව ඉවරකරලා පී.සී. ආර්.පරීක්ෂණත් කරලා ඒ වාර්තා අනුව කොවිඩ්-19 ආසාදිතයන් නොවන බව තහවුරු කරලා තමයි අපට යොමු කළේ. නමුත් පී.සී.ආර්. පරීක්ෂණ කී වතාවක් කළාද කියන එක නම් අපි දන්නේ නෑ. අපට වාර්තා ලැබුණේ මේ අය නෙගටිව් කියලා සහ නිරෝධායන කාල සීමාව ඉවර කරලා කියලා. ඒ වෙනකොට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ‍රැඳවියන් 472ක් හිටියා. මේ කඳවුරේ දෛනිකව වෙන වැඩක් තමයි මේ අධික ලෙස මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ පිරිස් ඉන්නේ. ඒ අය සාමාන්‍ය මිනිස්සු වගේ නෙවෙයි අසාමාන්‍ය චර්යා තියෙන්නේ. දිනපතාම වාගෙ 10ක් 15ක් කැස්ස, හෙම්බිරිස්ස්සව, උණ ගතිය තියෙන අය ඉන්නවා. මේ අය දෛනිකව බලන්න රජයේ වෛද්‍යවරයෙක් ඉන්නවා. සතියේ දවස් පහම මේ තත්ත්වය නිරීක්ෂණය කරලා වෛද්‍යවරයා ප්‍රතිකාර දෙනවා. බෙහෙත්වලට සනීප වෙනවා. මෙහි සේවය කරන එක නිලධාරියෙක් ඉන්නවා මේජර් ඉලංගකෝන් කියලා. එයාටත් උණ හැදිලා තිබුණා. ඒ වෙලාවෙත් වෛද්‍යවරයා බෙහෙත් දුන්නාම හොඳ වුණා. ඒ විතරක් නෙවෙයි ඒ නිලධාරියා වැඩ කළා. උදේට පී.ටී. කිලෝමීටර් 6ක් 7ක් දුවනවා, ඇවිදිනවා. කිසිම රෝග ලක්ෂණයක් පෙන්නුම් කළේ නෑ. අමාරුවක් ඇත්තෙම නෑ. නමුත් පී.සී.ආර්.පරීක්ෂණයෙන් එයත් පොසිටිව් වෙලා තියෙනවා. නමුත් කන්දකාඩු සිට වැලිකඩ බන්ධනාගාරයට ගිය ‍රැඳවූවාගෙන් මුලින්ම මේ වයිරසය ආසාදිතයි කියලා තහවුරු කරනවා? ඔව්. මේ සුදුවැල්ල, කැස්බෑව වැනි ප්‍රදේශවලින් අත්අඩංගුවට ගත් පිරිස කන්දකාඩු ‍රැගෙන එන්නේ මැයි මාසයේ 06දාත් 12දාත්. නමුත් වයිරසය ආසාදිතයන් සිටින බවට කිසිදු හෝඩුවාවක් නොමැති අවස්ථාවේ තමයි වැලිකඩ ගෙනගිය ‍රැඳවූවන් වයිරසය ආසාදිත ලෙස වාර්තා වෙන්නේ. වැලිකඩට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් ගෙන ගිය ‍රැඳවියා ජුනි 26 දා පොළොන්නරුවටත්, 27දා වැලිකඩටත් ගොස් එතැනින් පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව. ඒ වන විට දින ගණනය කළ හොත් නිරෝධායන කාලය අතහැර ගත්තත් දින 50 කට ආසන්න කාලයක් ශරීරය තුළ වයිරසය වැඩෙමින් තියෙන්න ඕන. ඔබ කියන්නේ මේ වයිරසය ඒ මත්්‍ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන්ගෙන් ආවා නම් සාමාන්‍යයෙන් වයිරසයක් ශරීරයක් තුළ තිබෙන දින 14ක් හෝ 21ට වඩා වැඩිකාලයක් ශරීරය තුළ තිබිය හැකි බවද? නැතිනම් මේ රෝග ලක්ෂණ නොපෙන්වා තිබීම ගැටලුවක් බවද? මෙතැන දෛනිකව පරීක්ෂා කිරීම් සිදු කරනවා. ඒ වගේම කන්දකාඩු කඳවුරට පිටින් එන්න කිසිසේත්ම හැකියාවක් නෑ. මොකද අපි ඒ ‍රැඳවූවන් බලන්නවත් පිට අයට අවස්ථාව දුන්නේ නෑ. මාස ගණනකට පස්සේ පසුගිය ජූලි 04 වැනිදා තමයි මේ ‍රැඳවූවන් බලන්න ඒ පවුල්වල අයට අවස්ථාව දුන්නේ. පිටින් යම් කෙනෙක් ආවා නම් ඒක අපේ නිලධාරින්ට අනිවාර්යයෙන් වාර්තා වෙනවා. එන්න විදිහක් නෑ. හොරෙන් එන්න බෑ, අපිටත් තියෙනවා පොඩි අනුමානයක් මොකද කන්දකාඩු ඇතුළට පිටස්තරයෙක් ආවේ නැතිනම් මේ වයිරසය කාගේ හරි ශරීරයේ තිබිලා මතුවෙලා නෑ. සමහර අවස්ථාවල අපි දැකලා තියෙනවා පළමු පී.සී.ආර්. ටෙස්ට් එකේදී පොසිටිව් වෙලා ඊළඟට නෙගටිව් වෙන ඒවා. එහෙම නැත්නම් මේ පී.සී.ආර්. යන්ත්‍රවල ප්‍රශ්නයක්ද කියන්න දන්නේ නෑ. අවශ්‍ය වෙන්නේ මේ ගැන විශේෂඥ දැනුම තියෙන කණ්ඩායමක් මේ ගැන විමර්ශනය කරන එක. මොකද සමාජයෙන් එන්න විදිහක් තිබුණෙත් නෑ. කන්දකාඩු කඳවුරට සමාජයෙන් කාටවත් එන්න අවස්ථාව තිබුණෙත් නෑ. ඒ නිසා මේ ගැන විමසිලිමත් වෙන්න ඕන ලංකාවේ විශේෂයෙන්ම තරුණ පිරිස් අතර වයිරසය ආසාදනය වෙලා කොච්චර කල් ශරීර තුළ රෝග ලක්ෂණ පෙන්නනේ නැතුව රෝගය උත්සන්න වෙන්නේ නැතුව තියෙන්න පුළුවන්ද කියන එක ගැන අපිත් අනුමානයක් තියාගෙන තියෙනවා. සාමාන්‍යයෙන් අතින් නම් මාසයකට සැරයක් ‍රැඳවූවන් බලන්න ගෙවල්වල අයට අවස්ථාව දුන්නා. නමුත් අපි කොරෝනා ව්‍යාප්තිය පාලනය කරන්න පසුගිය මාර්තු මාසේ සිටම ඒ අවස්ථාව දුන්නේ නෑ. දුන්නේ ජූලි 4 වැනිදා. එහෙනම් කොහොමද කන්දකාඩුවෙන් මේ 32 වන කොරෝනා පොකුර මතු වුණේ? මේක හැමෝටම තවමත් අබිරහසක්. ඒ නිසා සමාජ මාධ්‍ය තුළත් කටකතා පතුරුවන්නනුත් විවිධ අර්ථ කථන සපයනවා. එයින් එක කතාවක් තමයි පිටින් පැමිණෙන උපදේශකවරුන්ගෙන් මෙය බෝවෙන්නට ඇති කියන එක. එහෙම ඉඩක් තිබුණද? එහෙම වෙන්න පුළුවන්කමක් නෑ. මේ උපදේශකවරු යුද හමුදාවට සම්බන්ධ පිරිස් ඉන්නවා පිටින් කිහිප දෙනෙක් එනවා. ඒ අය සිටිය සමාජයෙනුත් වයිරසය තිබුණු බවට වාර්තා වෙන්නේ නෑ. දැන් සමාජය පුරා වැරදි මතයක් යනවා මේ උපදේශකවරුන් මේක රට පුරා ව්‍යාප්ත කළා කියලා. එහෙම එකක් නෑ. සාමාන්‍යයෙන් මෙම පුනරුත්ථාපන කඳවුරෙත් ඊට ආසන්නයේ තිබෙන සේනපුර වෘත්තිය පුහුණු හා ප්‍රතිකාර මධ්‍යස්ථානයේත් සිටින ‍රැඳවූවන් එක්ක දෛනිකව වැඩ කරන මනෝ විද්‍යාව ඉගෙන ගත් දක්ෂ පළපුරුදු පිරිසක් ඉන්නේ. ඒ අය මේ පිරිස් සමග කටයුතු කරන්නේත් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් හැමදාම 1000ක් විතර මේ කඳවුරු දෙකේ මේ රටේ කොහේ හරි කුඩුවලට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පිරිසක් සුවපත් කිරීමට, පුනරුත්ථාපනය කිරීමට විතරක් නෙවෙයි වෘත්තීය පුහුණුව ලබා දෙන්න කටයුතු කරනවා. මේ උපදේශකවරු එක්ක එකතුවෙලා මේ සමාජයට යහපතක් කරන්නේ. කුඩුවලට ඇබ්බැහි වූ පිරිස් ඉන්න පවුල්වල දෙමව්පියන්ගෙන්, සහෝදර සහෝදරියන්ගෙන්, වැඩිහිටියන්ගෙන් අහලා බැලුවොත් ඔවුන් හැමෝම ඉල්ලන්නේ තමන්ගේ දරුවා, සහෝදරයා ඥාතියා කුඩුවලින් මුදවලා දෙන්න කියලා. ඉතින් මේ භාරධුර කාර්යය තමයි නාවික හමුදාව එක්වෙලා සිදු කළේ. ඒ අය පුනරුත්ථාපන මධ්‍යස්ථානයට ගෙනා මොහොතේ සිට මේ සියලු උපදේශකවරුන් හා කාර්ය මණ්ඩල කළෙත් ඒක. ඒ අය වාහකයන් කියලා හන්වඩු ගැසීම, වැරදි ආරංචි පැතිරවීම බරපතළ වැ‍රැද්දක්. මේ රටේ පවුල් 1000ක විතර දුක්ගින්දර නිවන්න මහ ලොකු භාරධුර කාර්යයක් කරන්නේ රටටම කොරෝනා බෙදුවා කියලා කියන එක ඉතාම නරක දෙයක්.මේ රටට ජාතියට මහා මෙහෙවරක් කරන්නේ. තවත් අය අහනවා කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ මීටරේ පරතරය තියාගෙන හිටියා නම් ඕක වෙන්නේ නෑ නෙ කියලා. හරිම කනගා‍ටුයි. මෙතැන ඉන්නේ විෂ මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වෙච්ච අය. ඒ අය සාමාන්‍ය විදිහට නෙවෙයි හැසිරෙන්නේ. අපි දැක්කා සාමාන්‍ය මිනිස්සු පසුගිය කාලේ ඇඳිරි නීතිය අයින් කළාම හැසිරිච්ච විදිහ, ෆුඩ්සිටිවලයි, වයින් ස්ටෝර්ස් ඉදිරිපිටයි. එහෙම තියෙද්දි බරපතළ විදිහට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ අය එහෙම මීටරේ පරතරේ තියාගෙන හැසිරෙනවද? මේ වන විට කන්දකාඩුවල මොනවද වෙන්නේ? සියලු දෙනා කොරෝනා ආසාදිතයන් බවට පත් වෙමින් තියෙනවා නේද? අද (15දා) රාත්‍රි වෙනකොට කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේත්, සේනපුර වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේත් ‍රැඳිවියන් 443කට කොරෝනා වයිරසය ආසාදනය වී තිබෙනවා. එයින් කන්දකාඩු 352ක් සහ සේනපුර 91ක් වශයෙන්ද, නිලධාරින් 48ක්ද කොරෝනා ආසාදිත පොකුරට අයත්. නමුත් විශේෂත්වය වෙන්නේ මේ අයගෙන් සියයට 90ක් පමණ කිසිම රෝග ලක්ෂණයක් පෙන්නන්නේ නැතිව සාමාන්‍ය පරිදි දෛනික කටයුතු කරගෙන ඉන්න අය. කිහිප දෙනෙක් වැලිකන්ද රෝහලට යවා තිබෙනවා. එක්කෙනෙක් විතරක් අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කරලා තිබෙනවා. එයාත් ප්‍රශ්න ගොඩක් තියෙන කෙනෙක්. හෘදයාබාධ තියෙන අනිකුත් රෝග කිහිපයක්ම තිබෙන කෙනෙක්. අනෙක් රෝගීන් සියලු දෙනා කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ විශේෂයෙන් ස්ථාපිත කෙරුණු ජංගම රෝහලේ ප්‍රතිකාර ලබනවා. ඇතැම් පිරිස් චෝදනා කරනවා මෙතැන රෝහලකට තිබිය යුතු කිසිදු පහසුකමක් නෑ කියලා. කොහොමද මෙතන ජංගම රෝහලක් කරන්නේ කියලා? රෝගීන් අපි රෝග තත්ත්වය අනුව රෝහල්ගත කිරීම කරනවා. පී.සී.ආර් පොසිටිව් වුණා කියලා මේ රෝගින්ගෙන් බහුතරය රෝග ලක්ෂණ පෙන්වන්නේ නෑ. පී.සී.ආර්. ටෙස්ට් එකෙන් ලැබුණු ප්‍රතිඵල අනුව තමයි ඔවුන්ව ‍රැකබලා ගන්නේ. රෝගය උත්සන්න වෙන මට්ටමේ අය රෝහල්ගත කරනවා. මෙතැන 500ක් විතර ඉන්න තැනක්නේ. ඒ අයගේ පාලනය හරිම අමාරුයි. කවුරු හරි සාමාන්‍ය රෝහලක දාලා පැනලා ගියොත් සමාජය පුරා පැතිරෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒක නිසා මම හිතන්නේ මේක අලුත් අත්දැකීමක් වෙයි කොරෝනා වයිරසය සම්බන්ධයෙන්. මුළු ලෝකයටම සම්පූර්ණයෙන්ම අලුත් අත්දැකීමක් මේ තත්ත්වය. රෝග කාරක වයිරසය ශරීරය තුළ කොච්චර කල් රෝග ලක්ෂණ නොපෙන්වා තියෙනවාද කියා ඒ පිළිබඳව විශේෂඥතාව තිබෙන පිරිසක් විසින් වහාම පරීක්ෂා කර බැලිය යුතුයි. පුනරුත්ථාපන කඳවුර ජංගම රෝහලක් බවට පත් කළේ විශේෂයෙන්ම සමාජයට මේ වයිරසය යාමට තිබෙන සුළු හෝ ඉඩ හරි ඇහිරීමට. මොකද මේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පාලනය කරන එක ලේසි කාර්යයක් නෙමෙයි කියලා අපි මුලිනුත් කිව්වා. සුදුවැල්ලෙන් වැලිසර නාවික හමුදා කඳවුරට කොරෝනා ඇතුළු වුණා වගේ කන්දකාඩුවටත් ඇතුළු වුණාද නැතිනම් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන්ගේ ගිණුමට මෙය බැරකර අත පිසදාගත හැකිද? ඒක නිසා අපි නැවත කියන්නේ කඩිනමින් විශේෂඥ කණ්ඩායම් මේ පිළිබඳව විද්‍යාත්මක පර්‌යේෂණයක් කළ යුතුයි. රෝග වාහකයාගේ මූලාශ්‍රය මොකද්ද කියන එක තහවුරු කර ගන්න අමාරුයි. අපේ අනුමානයන් ඔස්සේ හරි මේ ගැන විශේෂඥයන්ගේ පරීක්ෂාවක් සිදු විය යුතුයි. සමාජයෙන් වයිරසය එන්න විදිහක් නැත්නම්, එහෙම රෝගීන් දින 70ක් වගේ කාලයක්ම දිවයිනේ කිසිම ප්‍රදේශයකින් වාර්තා වුණේ නැතිනම්, උපදේශකවරු හෝ මෙම පුනරුත්ථාපන කඳවුරේ කාර්ය මණ්ඩලවලට එන්න විදිහකුත් නෑ. අවසානයට අපට පෙනෙන්නට තිබෙන අනුමානය මේ වයිරසය වැඩි කාලයක් ශරීරය තුළ රෝග ලක්ෂණ පෙන්නන්නෙ නැතුව තියෙන්න පුළුවන්ද කියන එකයි. පී.සී.ආර්.පරීක්ෂණ යන්ත්‍රවල පවතින තත්ත්වයයි හැර වෙන ක්‍රමයක් නෑ. එහෙම නැත්නම් විදෙස්වල සිට ගෙන්වූ පිරිසෙන් කවුරුන් හෝ ඇසුරු කළ පුද්ගලයෙකු තුළින් එන්න ඕන. එහෙම ඒ නිරෝධායන ස්ථානවලට පිටස්තර අයට යන්න බෑ. ඒ නිසා මෙය මං නැවතත් කියන්නේ කොවිඩ්-19 සම්බන්ධ අලුත් අත්දැකීමක් වේවි මුළු ලෝකයටම. මට තවත් යමක් කියන්න ඕන. කන්දකාඩු, සේනපුර කියන්නේ සාමාන්‍යයෙන් 1000ක් විතර දෛනිකව පුනරුත්ථාපනය වන වෘත්තීය පුහුණුව ලබන ස්ථානයක්. මේ රටේ තරුණ ජවය නිකම්ම නැතිවෙලා යන්න නොදී ඔවුන්ට සුදුසු වෘත්තීය පුහුණුවක් ලබාදීලා ජීවන තත්ත්වය හොඳ මට්ටමට ගෙන ඒමට කටයුතු කරමින් තිබෙන්නේ. එස්.එම්.බණ්ඩාර මුදියන්සේ පොළොන්නරුව
 

More News..