brand logo

පී.එච්.අයි. සටන නවතී

29 July 2020

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ආරම්භ කර තිබූ වැඩ වර්ජනය අද (29 වැනිදා) සිට අත්හිටුවීමට තීරණය කර ඇත. ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ කියා සිටියේ අගමැති මහින්ද රාජපක්ෂ සහ සෞඛ්‍ය බලධාරීන් සමග අරලියගහ මන්දිරයේ ඊයේ (28 වැනිදා) පැවැති සාකච්ඡාවේදී පැමිණි එකඟතාවයන්ට අනුව මෙම තීරණය ගත් බවයි. 1897 නිරෝධායන පනතේ ගැටලු කාලීනව වෙනස් කිරීම සඳහා පාර්ලිමේන්තුවට සංශෝධන ගෙන ඒමට අගමැතිවරයාගේ අවධානය යොමු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ එම සාකච්ඡාවෙන් පසු අදහස් දක්වමින් කියා සිටියේය. නිරෝධායන පනතින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බලතල ක්‍රියාත්මක කිරීමට හැකියාව ඇති බවත් නඩු කටයුත්තකට යාමේදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගෙන් විමසා සිදුකිරීමටත් ඔවුන් අතර යම් පරස්පරතාවක් ඇතිවුවහොත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහගෙන් උපදෙස් ලබා ගැනීමටද එම සාකච්ඡාවේදී තීරණය වී ඇත. එමෙන්ම මෙහිදී අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය හරිත අලුත්ගේ පැවසුවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් අතර අතරමැදි කණ්ඩායමක් ලෙස රාජකාරි කටයුතු කිරීම පිළිබඳව එකඟතාවක් ඇතිවූ බවයි. පවතින නීති රාමුවලට යටත්ව කොවිඩ් පාලනය සහ මැතිවරණ කටයුතු සිදුකිරීමට දෙපාර්ශ්වයන් අතර පැවැති අනවබෝධය තුරන් කිරීමටද මෙහිදී හැකියාව ලැබුණු බව ඔහු සඳහන් කළේය. නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද පැමිණ මෙහිදී නීතිමය කරුණු පිළිබඳව පැහැදිලි කර ඇත.   උදයජීව ඒකනායක/ චාමර පල්ලේගෙදර
 

More News..