brand logo

පීසීආර් සාම්පල අරන් ගිය ගිලන් රිය කැස්බෑවේදී පෙරළෙයි

09 June 2021

පෞද්ගලික රෝහලකට අයත් ගිලන්රථයක් කැස්බෑව මංසන්ධියේ දී මෝටර් රථයක ගැටී පෙරලී යාමෙන් එම ගිලන්රථයේ රියදුරු බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ බව කැස්බෑව පොලිසිය පැවසීය. මෙලෙස තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 30 ක පමණ පුද්ගලයෙකු වන අතර ගිලන් රථය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබන රෝගීන් කිහිප දෙනෙකුගේ පීසීආර් සාම්පල රැගෙන නාරාහේන්පිට පෞද්ගලික රෝහලක් කරා යමින් සිටි අතරතුර මෙසේ අනතුරට ලක් වී ඇතැයි පොලිසිය සඳහන් කරයි. ගිලන්රථය බණ්ඩාරගම මාර්ගයේ සිට කැස්බෑව මංසන්ධියේ විකල්ප මාර්ගය හරහා කොළඹ දෙසට යාම සදහා ධාවනය කිරීමේදී පිළියන්දල දෙස සිට හොරණ දෙසට යමින් සිටි මෝටර් රථයක් ගිලන්රථයේ බදෙහි පිටුපස පෙදෙසෙහි ගැටීමත් සමගම ගිලන්රථය එම ස්ථානයේ පෙරලී මීටර් 50 ක් පමණ ඉදිරියට මාර්ගයේ ඇදීගොස් නැවතී තිබූ බව පොලිසිය පැවසීය . මෙම අනතුරින් ගිලන්රථ රියදුරුගේ හිසට බරපතළ තුවාල සිදු වී ඇති අතර ඔහු 1990 ගිලන්රථයකින් කලුබෝවිල රෝහල කරා යොමු කළ බව පොලිසිය කියයි අනතුරින් ගිලන්රථයට සහ මෝටර් රථයට අලාභ හානි සිදුවී ඇතිමුත් පීසීආර් සාම්පල් අඩංගු කර තිබුණි ආරක්ෂිත පෙට්ටියට කිසිදු හානියක් සිදු වී නැති බවද පොලිසිය කියයි. අනතුර සම්බන්ධව කැස්බෑව පොලිසිය පරීක්ෂණ පවත්වයි. දිනේෂ් රූපසිංහ - පිළියන්දල
 

More News..