brand logo

පිළුණු වූ දත්ත මත ඉදිරි දින තක්සේරු කළ නොහැකි

11 May 2021

පීසීආර් පරික්ෂණ පමාවෙන තරමට ආසාදිතයන් සමාජයට එකතු වෙන බවත් පිළුණු වූ දත්ත මත පදනම්ව ඉදිරි දින ගැන නිශ්චිත තක්සේරුවක් කළ නොහැකි බවත් ශ්‍රීලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසීය. පවතින තත්ත්වය මත අවම වශයෙන් දිස්ත්‍රික් සංචරණ සීමාවන් හෝ ක්‍රියාත්මක කළයුතු බවත් ඔහු කීවේය. සභාපතිවරයා මේ බව සඳහන් කළේ බදුල්ලේ ඊයේ (10 වැනිදා) පැවති මාධ්‍ය හමුවක දී ය. මේ වන විට රෝගීන් තවදුරටත් වර්ධනය වෙමින් තිබෙන බව ද පවතින තත්ත්වය මත සංචරණ සීමා පනවන ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සහ තවත් වෘත්තිය සංගම් රාශියක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කර තිබෙන බව ද ඔහු පැවසීය. රෝගීන් වර්ධනය වීමේ රේඛාව පහළට ගැනීමට නොහැකි වන බවත් කොවිඩ්වලට අදාළ මරණ සම්බන්ධයෙන් මහජනතාව සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල අතර විශාල කුකුසක් ඇති වී තිබෙන බවත් සඳහන් කළ උපුල් රෝහණ කොවිඩ් මරණයක් ලෙස සැලකෙන්නේ ආසාදිතයෙක් රෝහල් ගත වූ විට සිදු වූ මරණයක් පමණක් යැයි ද ප්‍රකාශ කළේය. වෙනත් රෝගයකින් මියගොස් කොවිඩ් ආසාදිත බව පසුව තහවුරු වුවත් එය කොවිඩ් මරණයක් ලෙස නොසැලකෙන බවත් මෙම තත්ත්වය මත කොවිඩ් මරණ සංඛ්‍යාව පැහැදිලිව සටහන් නොවන බවත් හෙතෙම පැවසීය. මේ නිසා ජනතාව තුළ හා සෞඛ්‍ය අංශයට යම්කිසි ගැටලුකාරී තත්ත්වයක් ඇති වී තිබෙන බවත් පසුගිය කාලය තුළ පීසිආර් සාම්පල 25000 ක ප්‍රමාණයක් ගොඩගැසී ඇති බවත් සඳහන් කළ හෙතෙම දැනට අපට දර්ශනය වෙන්නේ අදාළ දිනයේ ආසාදනය වූ සංඛ්‍යාව නොව ඒ දිනවල රසානාගාරය තුළ ධාරිතාව අනුව පරික්ෂා කළ සංඛ්‍යාව යැයි ද කීවේය. ඒ.එම්. කටුබුල්ල - ඇල්ල ජයලත් දිසානායක - බදුල්ල
 

More News..