brand logo

පිළිමවලට අරුම හැඩ දෙන අමරනාත්

01 January 2021

ලංකාවේ බොහෝමයක් කලා ශිල්පයන් පරම්පරාවෙන් පරම්පරාවට උරුම වීම අරුමයක් නොවෙයි. පරම්පරාවක ගෑවිලාවත් නැති, නමුත් සහජ හැකියාවෙන් කලා ශිල්පයක් දියුණු කර ලොව ජයගත් මිනිසුන්ද ඕනෑ තරම් සිටී. එසේ සහජ හැකියාවෙන් සිය අරමුණු කරා පැමිණි කලා ශිල්පියෙක් වෙනුවෙන් අපි ඉඩ වෙන් කළා. ඔහු අමරනාත් දිනේෂ්. අමරනාත් දිනේෂ්ව කොහොමද හඳුන්වන්නේ? චිත්‍ර සහ මූර්ති ශිල්පියෙක් කියලා හඳුන්වනවට මම කැමැතියි. අමරනාත්ගේ නිර්මාණ වැඩියෙන්ම දකින්න ලැබෙන්නේ? මම බහුතරයක් වැඩ කරලා තියෙන්නේ පන්සල් ආශ්‍රිතව. පන්සල්වල මොනවද කරලා තියෙන වැඩ? මකර තොරණ, චෛත්‍ය, පිළිම, පන්සල්වල චිත්‍ර ඒ හැම දෙයක්ම කරනවා. මේ වෙද්දි පන්සල් කීයක විතර වැඩ කරලා තියෙනවාද? දැනට පන්සල් 400ක් ඉක්මවලා වැඩ කරලා තියෙනවා. පන්සල්වල චිත්‍ර ඇඳීමේදී කල් පැවැත්ම සඳහා මොනවද යොදා ගන්නේ? දොරණ තෙල් මිශ්‍ර කරලා තමයි ගොඩක් පාට හදා ගන්නේ. සාමාන්‍යයෙන් පන්සලක කෙරෙන චිත්‍රයකට අවුරුදු කීයක් ගැරන්ට් කරනවාද? මගේ චිත්‍රයක් අඩුම අවුරුදු 50ක්වත් පැවැතෙන විදිහට තමයි නිර්මාණ කරන්නේ. මේ කලාවට යොමු වුණේ? මේක පරම්පරාවෙන් ආපු දෙයක් නෙවෙයි. අමිල ගුණරත්න සහ ලූෂන් ගුණරත්න කියන මගේ අයියලා දෙන්නා මේ කලාව වෘත්තිය විදිහට කරනවා. ඒ නිසා මටත් මේ දේ සහජයෙන්ම පිහිටලා තියෙනවා. මගේ නංගි ප්‍රියංගිකා ප්‍රියදර්ශනී චිත්‍ර ගුරුවරියක්. දෙමාපියන්ගෙත් කලාවට නැඹුරුවක් තියෙන්න ඇති? නැහැ. අපි මේ කලාවේ රැඳෙනවට අම්මා තාත්තා වැඩිය කැමැති වුණේ නැහැ. මොකද එයාලා විශ්වාස කරා බුදු පිළිම, දේව ප්‍රතිමා හදද්දි ඒ නිර්මාණකරුවාට වස් වදිනවා කියලා. අයියලා දෙන්නත් මුලින් නිර්මාණ කළේ අම්මාට, තාත්තාට හොරෙන්. නමුත් දැන් ඉන්න තත්ත්වය ගැන ඔවුන් සතුටු වෙනවා. මූර්ති, චිත්‍ර තරගවලට ඉදිරිපත්වෙලා ඇති? මම ශිල්ප සභාවේ රෙජිස්ටර් වෙලා නැහැ. ඒ නිසා මට තරගවලින් ආරාධනා ලැබෙන්නේ නැහැ. විදේශිකයන්ට නිර්මාණ කරලා තියෙනවද? ඇමරිකාවේ නිව් යෝර්ක්වල තියෙන පන්සලේ චිත්‍ර අඳින්න යන්න හිටියේ. නමුත් කොරෝනා නිසා මට ඒ ගමන යන්න තවම බැරිවෙලා තියෙනවා. ප්‍රසිද්ධ ස්ථානවල ඔබ කරල තියෙන නිර්මාණ ගැන කිව්වොත්? නුවර රෝහලේ, පොළොන්නරුව රෝහලේ, රිජ්වේ ආර්යා රෝහලේ එළියේ තියෙන පිළිමය ඒ වගේ ගොඩක් නිර්මාණ මම කරලා තියෙනවා. නිර්මාණයකට මිලක් තීරණය කරන්නේ? මේ ක්ෂේත්‍රයේ ඉන්න ශිල්පීන් අතරේ මිලක් තියෙනවා. මට වැඩියෙන් වැඩ ලැබිලා තියෙන්නේ පොළොන්නරුව, මහියංගණය වගේ පැතිවල. ඒ නිසා ඒ අයගෙන් සාමාන්‍යයෙන් අය කරන මිලට වඩා අඩුවෙන් තමයි මම අය කරන්නේ. පහුගිය කාලේ ලංකාවේ තාප්ප, බිත්ති පුරා චිත්‍ර ඇඳීමේ රැල්ලක් පටන් ගත්තා. ඔබත් ඒ කාලේ නිර්මාණවලට දායකත්වය දුන්නාද? නුවර විද්‍යාරතනයේ වර්ග අඩි 625ක චිත්‍රය ඇන්දේ මම. ඒක පැය 12කින් අවසන් කළා. ඊට පස්සේ මාතලේ ටවුන් එකේ වර්ග අඩි 2500ක පමණ නිර්මාණ තුනක් කළා. ඒ වගේ අඩු කාලයකින් කළ නිර්මාණ තවත් ඇති? අවුකන පිළිමයේ හැඩයට කටුගස්තොට අඩි 23ක් උස බුදු පිළිමයක් නිර්මාණය කළා. දිවා රෑ නොබලා වැඩ කරලා දවස් 28කින් මට ඒ පිළිමයේ වැඩ ඉවර කරන්න පුළුවන් වුණා. මුල් පදිංචිය කුරුණෑගල. නමුත් දැන් ඉන්නේ මහනුවර? මහනුවරට එන්නේ මීට අවුරුදු 12කට කලින්. ඒ ආවේ චිත්‍ර සහ මූර්ති අලෙවිසලක් පටන් ගන්න හිතාගෙන. ඒ ආපු ගමන් අද වෙනකම් නුවර ඉන්නේ. විවාහකයි? ඔව්. මට දුවලා දෙන්නයි පුතයි ඉන්නවා. ඒ අයට චිත්‍ර ඇදීමේ හැකියාව තියෙනවද? ඔවුන් තාම පොඩියි. පොඩිකාලේ ඉඳන් ඔවුන් මම කරන වැඩ දැක්කා. නමුත් ඔවුන්ගේ හැකියාව ගැන දැන්ම තීරණය කරන්න බැහැ. චිත්‍ර ශිල්පියෙක් නොවුණා නම්? කියන්න අමාරුයි. ඒ කාලේ ඉඳන් හිතේ තිබුණේ චිත්‍ර ශිල්පියෙක් වෙන්න. කවුරු හරි ඔබෙන් මේ කලාව ඉගෙන ගන්න ආසයි කිව්වොත්? මගේ අදහසක් තියෙනවා නුවර නේවාසික මූර්ති පාසලක් ආරම්භ කරන්න. මැටි පුච්චලා කරන මූර්ති නිර්මාණය කරන්න තමයි අදහස තියෙන්නේ. ලබන වසරේ එය ආරම්භ කරන්න අපේක්ෂාවෙන් ඉන්නවා. මේ දිනවල එය පැවැත්වීමට අවශ්‍ය නිදහස් ස්ථානයක් හොයනවා. ගයාශාන් විතානආරච්චි
 

More News..