brand logo

පිළිකාව හොඳ කරන මව්කිරි එන්නත

15 March 2020

ලෝකය තැනෙන්නේ හිරු එළියෙන් හා මවගේ කිරෙන් කියා ලෝක පූජිත රුසියානු ගත්කතුවර මක්සිම් ගෝර්කි කීවේ හේතු සාධක ඇතිව බව ඔප්පු කෙරෙන තවත් සොයා ගැනීමක් කරන්නට චෙක් ජන රජයේ විද්‍යාඥයන් කණ්ඩායමක් පසුගියදා සමත් විය. ඒ මාරාන්තික මුත්‍රාශ පිළිකාව මර්දනය කිරීමට හැකියාව ඇති රසායනිකයක් මව්කිරෙන් නිස්සාරණය කිරීමෙනි. ළදරුවන්ගේ වර්ධනයට අත්‍යවශ්‍ය පෝෂකයක් වන ඇල්ෆා 1 H නමැති මෙම සීනි වර්ගයට පිළිකා සෛල විනාශකොට, ඒවා රෝගියාගේ මුත්‍රා සමග සිරුරෙන් පිටකිරීමට සතු හැකියාව විශ්මිතය. මෙහිදි වඩාත්ම වැදගත් වන්නේ ඇල්ෆා 1 H මගින් එලෙස පිළිකා සෛල විනාශ කරන්නේ නීරෝගි සෛලවලට කිසිදු බලපෑමක් නොකර වීමය. මෙය සම්ප්‍රදායික රසායනික පිළිකා ප්‍රතිකාර විධි අබිබවා යන සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක් විය හැක්කේ එනිසාය. මෙම මාරාන්තික රෝගය තවමත් නිට්ටාවට සුවකිරීමේ ජයග්‍රාහි කඩඉමට ළඟාවී නැතත් පිළිකා ප්‍රතිකාර අතර විප්ලවීය වන මෙම නවතම සොයා ගැනීම සිදුකළේ ප්‍රාග් නුවර මෝටෝල් විශ්වවිද්‍යාල රෝහලේ මහාචාර්ය කැත්රිනා ස්වැන්බෝර්ග් ප්‍රමුඛ විද්‍යාඥයන් පිරිසක් විසිනි. අහඹු ලෙස සිදුවූ එම සොයා ගැනීමට පාර කැපුණේ 1995 වසරේදී මහාචාර්ය ස්වැන්බර්ග් ස්වීඩනයේ ලන්ඩ් විශ්වවිද්‍යාලයේදී සිදුකළ අනාවරණයක් හරහාය. මව්කිරි විෂබීජවලට එරෙහිව සටන්කරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් පර්‌යේෂණ පවත්වමින් සිටි මහාචාර්ය කැත්රිනා එහිදී නිරීක්ෂණය කළේ මව්කිරෙහි අඩංගු ඇල්ෆා 1 H රසායනිකය හමුවේ පිළිකා සෛල විනාශ වන බවයි. “ඇල්ෆා 1 H කියන්නේ මව්කිරිවල තියෙන ලැක්ටෝස් කියන සීනි වර්ගය නිපදවීමට උදව්වෙන රසායනිකයක්. මෙය ඔලෙයික් අම්ලය සමග එකතුවුණාම පිළිකා සෛල තමන් විසින්ම විනාශ කරගන්න පොලඹවන ‘පිළිකා සෛල නාශක සංකීර්ණයක්‘ ගොඩනගා ගන්නවා.’’ මහාචාර්ය කැත්රිනා ‘ද ටෙලිග්‍රාෆ්’ පුවත්පත විසින් කළ විමසීමකදී කියා සිටියාය. වඩාත්ම සුවිශේෂි වන්නේ පිළිකා සෛල විනාශ කිරීමට ලබාදෙන සම්ප්‍රදායික රසායනික ප්‍රතිකාර (කිමෝතෙරපි)වලදී මෙන් නොවල ඇල්ෆා 1 H මගින් නීරෝගි සෛලවලට කිසිදු උවදුරක් සිදුනොවීමය. මේ නිසා ඇල්ෆා 1 H ප්‍රතිකාරය සිරුරට හිතකර, වඩාත් මෘදු පිළිකානාශක ප්‍රතිකාරයක් වනවාට සැක නැත. මෙම අපූර්ව සොයාගැනීමට පාදකවූ අධ්‍යයනය සිදුකරනු ලැබුවේ සුවකිරීමට අපහසු යැයි නිගමනය කෙරුණු මුත්‍රාශ පිළිකා රෝගින් හතළිස්දෙනකු යොදාගනිමිනි. එහිදී දින විසි දෙකක් තුළදී ඇල්ෆා 1 H රසායනිකය හයවාරයක් ඔවුන්ට ශරීරගත කෙරිණි. ඒ සියලු දෙනාගේම මුත්‍රා හරහා බිඳීගිය පිළිකා සෛල සිරුරින් බැහැරව තිබිණි. ඉන් පරිබාහිර වූ තවත් පර්‌යේෂණයකදී සැත්කම්වලට මුහුණදීමට සූදානම්ව සිටි පිළිකා රෝගීන් නවදෙනකුට සැත්කමට සතියක් තිබියදී ඇල්ෆා 1 H රසායනිකය දිනකට මාත්‍රා පහ බැගින් දිනපතා ලබාදුණි. අනාවරණය වුණේ එම රෝගීන්ගෙන් අටදෙනකුම ප්‍රතිකාරය ලබාගෙන පැය දෙකක් තුළදි බිඳීගිය පිළිකා සෛල මුත්‍රාවලින් බැහැර කළ බවයි. එසේම ඔවුන්ගේ පිළිකාමය අර්බුදයේ ප්‍රමාණයද කැපී පෙනෙන ලෙස අඩුවී තිබිණි. එසේම ඉන් නීරෝගි සෛලවලට කිසිදු බලපෑමක් සිදුව තිබුණේද නැත. මහාචාර්ය ස්වැන්බර්ග් පවසන ආකාරයට මෙම ප්‍රතිකාරයේ මෘදුබාවය කරණකොටගෙන එය පිළිකා රෝගීන්ට පමණක් නොව පිළිකා වන්ට ලක්වීමේ අවදානම ඇති අයටද, රෝගය වළක්වාගැනීමේ ඖෂධයක් ලෙස භාවිත කරන්නට නුදුරේදීම හැකිවෙනු ඇත. මුත්‍රාශ පිළිකා සඳහා පමණක් නොව මහාන්ත්‍ර හා මස්තිෂ්ක පිළිකා සඳහාද මව්කිරෙන් ලබා ගන්නා රසායනිකය ප්‍රතිකාරයක් ලෙස යොදාගත හැකිද යන්න පිළිබඳ පර්‌යේෂණ පැවැත්වීම මහාචාර්ය ස්වැන්බර්ග්ගේ මීළඟ බලාපොරොත්තුව වී තිබේ. මුත්‍රාශ පිළිකාව ලෙස හැඳින්වෙන්නේ මුත්‍රාශයේ ආස්තරණ අපිච්ඡද පටකයේ හෝ පේශිවල හටගන්නා මාරාන්තික පිළිකා තත්ත්වයි. පිරිමින් අතර වඩාත් සුලබවන මෙම රෝගය, මුත්‍රා සමග රුධිරය පිටවීම, නිතර නිතර මුත්‍රා පිටකිරීමේ අවශ්‍යතාව, ශ්‍රෝණියේ වේදනාව වැනි ලක්ෂණවලින් හඳුනාගත හැක. මේ සඳහා දැනට ප්‍රතිකාර ලෙස සිදුකරන්නේ මුත්‍රා නාළය ඔස්සේ පිළිකාමය තත්ත්වය සැත්කමකින් ඉවත්කිරීමයි. ඉන්පසුව ‘බැසිලස් කැල්මෙටි ගුවරින්‘ නමැති සජීවි බැක්ටීරියාව මුත්‍රාශයට ඇතුළු කොට ප්‍රතිශක්තිකරණ සෛල ඒ වෙත අද්දවා ගැනීමෙන් පිළිකාවේ ඉතිරිව ඇති කොටස් විනාශ කිරීම සිදුවේ. කෙසේවුවද මෙය එතරම් සාර්ථක ප්‍රතිකාරයක් නොවන්නේ රෝගීන්ගෙන් තුනෙන් එකක් පමණ ඊට යහපත් ප්‍රතිචාර දක්වන්නේ නැති නිසාම පමණක් නොවේ. බී. සී. ජී. බැක්ටිරීයාව නිසාවෙන් මුත්‍රාශ ආසාදන, රක්තහීනතාව, වකුගඩු ආබාධ වැනි භයානක අතුරු ආබාධ ඇතිවීමේ අවදානමක්ද තිබෙන නිසාය. ඒ අනුව මව්කිරෙන් නිස්සාරණය කරගත් ඇල්ෆා 1 H රසායනිකයෙන් සිදුකරන ප්‍රතිකාරය සාර්ථකවීම මුත්‍රාශ පිළිකා රෝගීන්ට සුබදායි බලාපොරොත්තු දල්වා ගැනීමට හේතුවක් වනු ඇත.   රුක්ලන්ති පෙරේරා
 

More News..