brand logo

පිහියෙන් ඇන තරුණයෙකු ඝාතනය කළ සැකකරුවන් දෙදෙනෙකුට මරණ දඬුවම

12 December 2019

පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් දාහත් හැවිරිදි තරුණයෙකු පිහියෙන් ඇන මරා දැමීමේ චෝදනාවට වරදකරු කෙරුණු විත්තිකරුවන් දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් මරණීය දණ්ඩනය නියම කළ අතර ඉන් අධිකරණය මග හැර පළා ගොස් සිටින විත්තිකරුවකු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නැයි දන්වා විවෘත වරෙන්තු නිකුත් කරන ලෙසද අද (12) නියෝග කළේය. කොටහේන ප්‍රදේශයේ පදිංචි ගුරුසාමි මිල්ටන් සහ කළුතන්ත්‍රිගේ රුවන් හෙවත් ආජා නමැති විත්තිකරුවන් දෙදෙනාට මෙසේ මරණීය දණ්ඩනය නියම කෙරිණි. මෙහි ගුරුසාමි මිල්ටන් නැමති විත්තිකරු මේ වනවිට අධිකරණය මග හැර පළා ගොස් සිටින අතර තීන්දුව ප්‍රකාශයට පත්කරන අවස්ථාවේ ඔහු අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත. ඒ අනුව ඔහු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා මහාධිකරණ විනිසුරුවරයා විවෘත වරෙන්තු ද නිකුත් කරන ලදී. 2001 වසරේ අප්‍රේල් මස 12 වනදා කොටහේන ප්‍රදේශයේදී පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් දාහත් හැවිරිදි පණ්ඩුක ප්‍රසාද් විස්වන්ත නැමති තරුණයෙකුට පිහියෙන් ඇන මරා දැමීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ගොනු කර තිබුණි දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බව තීන්දු කළේය. ඒ අනුව ඔවුන්ට මරණීය දණ්ඩනය නියම කරන බවද විනිසුරුවරයා සිය තීන්දුවෙන් සඳහන් කර සිටියේය. (අධිකරණ වාර්තාකරු)
 

More News..