brand logo

පිස්තෝලය සෙල්ලම්ද බලන්න දස මසක් ගිහින් - වාර්තාව එනතුරු අහිංසකයකු මාස 10ක් හිරේ

19 January 2020

ප්‍රසාද් කුමාර හිරෙන් එළියට ආවේ දෙසතියකට ඉහතදීය. හිරේ යනුවෙන් කීවත් ප්‍රසාද් කුමාර අරබයා එය නිවැරදිව ලිවිය යුත්තේ රක්ෂිත බන්ධනාගාරයෙන් නිදහස ලැබූ බවය. ඔහු පුරා මාස දහයක් රක්ෂිත බන්ධනාගාරයේ සිටියේ තමන් කළ වරදකට නොව ආණ්ඩුවේ කන්තෝරුවක අකාර්යක්ෂමතාවේ වරදකිනි. ප්‍රසාද් කුමාර සිටියේ හිඟුරක්ගොඩ පිංපාර, යටියල්පතාන දකුණ අංක 30/1හි නිවසේය. ඔහු තිස්එක් හැවිරිදි දෙදරු පියෙකි. "ගිය අවුරුද්දේ පෙබරවාරි 12 දා අපේ ගෙදර පොඩි රණ්ඩුවක් වුණා. නෝනයි මායි බැණගත්තා. අපේ ගෙදරමයි නෝනගේ තාත්තාත් ඉන්නේ. ඉතින් එයා එදා ටිකක් බීලා හිටියෙත්. අපි රණ්ඩු වෙනවා ඇහිලා එයා තවත් එයාගේ යාළුවෙකුට කියලා තියෙනවා මේ ගෙදර රණ්ඩු වෙනවා පිස්තෝලෙකුත් තියෙනවා බයයි කියලා. ඒ කෙනා මේ ගැන 119 පොලිස් හදිසි දුරකථන ඇමතුම් අංකයට කෝල් කරලා කියලා අපේ ගෙදර රණ්ඩු වෙනවා පිස්තෝලෙකුත් තියෙනවා කියලා. ඒ තොරතුරට පොලිසියෙන් ඇවිත් ගෙදර පරික්ෂා කරන්න ඕන කියලා මුළු ගේම පරීක්ෂා කළා. ඇඳුම් අල්මාරිය බලනකොට සෙල්ලම් පිස්තෝලයක් හම්බ වුණා. මේ තියෙන්නේ බඩු කියලා, තව හෙව්වා. තවත් ලයිටරයකුත් හම්බවුණා. ඊට පස්සේ මගෙන් ඇහුවා මේකේ උණ්ඩ 100ක් තියෙන්න ඕන කෝ ඒවා කියලා. මම කිව්වා මේක සෙල්ලම් පිස්තෝලයක්. අනිත් එක ලයිටරයක් කියලා මම ඒ ලයිටරය පත්තු කරලාත් පෙන්නුවා. ඊට පස්සේ අර පිස්තෝලෙත් එක්ක අපිව පොලිසියට එක්ක ගියා. මගේ කිරි බොන චූටි දුවයි, මොන්ටිසෝරි යන පුතයි නෝනයි මාමයි සියලු දෙනාම පොලිසියට අරන් ගියා. පැය ගාණක් ප්‍රශ්න කළා. ඒත් මට කියන්න තිබුණේ එක දෙයයි මේක සෙල්ලම් පිස්තෝලයක් කියන එක විතරයි" ඔහුගේ කතාව පටන් ගත්තේ පොලිසිය තමා නොකළ වරදකට පටලවා ගැනීමට මුල්වූ කතාව දිග හරිමිනි. "පස්සේ අපි පොලිසියේ ඉද්දී පොලිසියෙන් කට්ටියක් ආපසු ගෙදර ඇවිත් අපේ වත්ත පුරාත් සෝදිසි කරලා තිබුණා. අන්තිමට ගොඩක් රෑ වෙලා ගෙදර අනිත් අය එවලා මාව පහුවදා (13 වැනිදා) හිඟුරක්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ‍රැඳවුම් නියෝගයක් අරගෙන තවත් දවසක් තියාගෙන ප්‍රශ්න කළා. මට මේක හම්බ වුණේ දිවුලපිටියේ අයියා ගාව තිබිලා. මේක සෙල්ලම් පිස්තෝලයක්. ඒක ලස්සන හින්දා මට ආස හිතිලා අරං ආවේ. එක දවසක් ඕක අපේ නෝනාගේ තාත්තා ගෙදර තියෙනවා දැකලා ඒක ඇතුළේ තියෙන බොරු උණ්ඩය එයාගේ යාළුවෙකුට පෙන්නලා තිබුණා. ඒ වෙලාවේ එයාලත් හිතලා තියෙන්නේ මේක ඇත්ත එකක් කියලා. ඒක තමයි රණ්ඩු වුණ දවසේ කවුරු හරි 119 ට කෝල් කරලා තියෙන්නේ’’ ඔහු කියන්නේය. රැඳවුම් නියෝගයෙන් පසු කළ ප්‍රශ්න කිරීම්වලින් හෝ සෝදිසි කිරීම්වලදී තවත් සැක කටයුතු කිසිවක් සොයා ගැනීමට හෝ අනාවරණය කර ගැනීමට නොහැකි වූ පොලිසිය පසු දින එනම් පෙබරවාරි 14 දා මොහු බී අංක 193/19 යටතේ අධිකරණයට ඉදිරිපත් කරන්නේ සැක කටයුතු නඩු භාණ්ඩයද සමගය. සැකකටයුතු නඩු භාණ්ඩ යනුවෙන් පොලිසිය හඳුන්වන්නේ සෙල්ලම් පිස්තෝලයය. අධිකරණය මෙම සැකකටයුතු නඩු භාණ්ඩය රසායනාගාර පරික්ෂාවකින් තහවුරු කර ගැනීම සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට යවන ලෙස නියෝග දෙන්නේය. ඒ අනුව පොලිසිය එම මාසය අවසන් වීමට පෙරම නඩු භාණ්ඩය රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට යැවීමට කටයුතු කර තිබේ. එහෙත් රස පරීක්ෂක වාර්තාව පැමිණෙන තුරු සැකකාර තරුණයා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ. ප්‍රසාද් අධිකරණයට ඉදිරිපත් කෙරෙන්නේ ගිනි අවි ආඥා පනත යටතේය. එබැවින් ඔහුට ඇප දීමට මහෙස්ත්‍රාත්වරයාට බලයක් නැත. එම පනත යටතේ සැකකරුවකුට ඇප දිය හැක්කේ මහාධිකරණයටය. එහෙත් නීතිඥයකු අල්ලාගෙන මහාධිකරණයට යන්නට ප්‍රසාද්ට කාසි නොවීය. රජයේ රස පරික්ෂක වෙත යොමු කෙරුණු එම නඩු භාණ්ඩය පිළිබඳව බත්තරමුල්ලේ පැලවත්තේ පිහිටි ආණ්ඩුවේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධිකරණ විද්‍යා අංශයේ පුපුරන ද්‍රව්‍ය හා ගිනි විමර්ශන අංශයෙන් රසායනාගාර පරික්ෂාවකට ලක් වෙයි. එම පරික්ෂාවට ලක් වන්නේ ගිනි අවි ආඥා පනත හෝ පුපුරන ද්‍රව්‍ය පනත හෝ අනුවය. කෙසේ වෙතත් හිඟුරක්ගොඩ පොලිසියෙන් යොමු කළ මෙම නඩු භාණ්ඩය පිළිබඳව රස පරීක්ෂක වාර්තාව ලැබෙන්නේ 2019 වසරේ නොවැම්බර් මාසයේ 17 හෝ ඊට ආසන්න දිනයකදීය. එම වාර්තාව ලැබෙන තෙක් යටියල්පතාන දකුණ ගමේ දෙදරු පියා මාස 10කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරයේ සිරබත් කමින් අන්ත දුක්ඛිත ජීවිතයක් ගෙවා දැමුවේය. "නඩුකාරතුමා එදා මේකේ රස පරීක්ෂක වාර්තාව ලැබෙන තෙක් මාව රක්ෂිත බන්ධනාගාර ගත කරන්න කියලා නියෝග කළා. එදා ඉඳලා දවස් 14කට සැරයක් බන්ධනාගාර බස් එකේ හිරකරුවන් ගෙනියන විදිහට මාවත් බන්ධනාගාරයෙන් අධිකරණයට ගේනවා. ගෙනත් නඩුව ගන්නකොටම නඩුකාරතුමා අහන්නේ රස පරීක්ෂක වාර්තාව. ඒක ලැබී නෑ කිව්වාම ආයෙ දවස් 14ක් ඇතුළට. මේ විදිහටම මාස 10ක් කිට්‍ටු වෙන්න මම රිමාන්ඩ් එකේ’’ ඔහු කීවේය. සැකකරුවකු ලෙස ප්‍රසාද් රක්ෂිත බන්ධනාගාර ගත කිරීම නිසා ඔහු එතෙක් සේවය කළ පෞද්ගලික ගොවිපළෙන් දොට්ට දැමුණි. බිරිඳටද කිසිදු ‍රැකියාවක් නැත. කිරි දෙන කුඩා දැරිවියක හා පෙර පාසල් වයසේ දරුවෙකු හදා ගැනීම ලේසි පාසු කර්යයක් නොවේ. සැමියා හිරේ ගිය කතාව පැතිරෙද්දී ප්‍රසාද්ගේ බිරිය වූ දිලානි මහේෂිකා ප්‍රශ්න රැසකට මුහුණ දුන්නාය. ගම්මුන්ගේ අපවාදවලට ලක්වන්නට සිද්ධ විය. සමහරු ඇය දෙස බැලුවේ මහා අපරාධකරුවකුගේ බිරියක් ලෙසය. එහෙත් කවුරුවත් ඇත්ත කතාව දැනගෙන සිටියේ නැත. "මහත්තයා හිරේ විලංගුවේ වැ‍ටුණාම ගමේ අයත් අපට සැලකුවේ නෑ. හැමෝම අපිව මග ඇරියා පුතා මොන්ටිසෝරි ගියාම ළමයි අහනවා තාත්තා ගැන එයා ගෙදර ඇවිත් මගෙන් අහනවා. ඉතින් කොච්චර දවසක් මේක කියන්නද. හිරේ ඉන්නේ කියලා කියන්න පුළුවන්ද. අපි පොලිසියට ගියාමත් එයා බලන්න හිර ගෙදර ගියාමත් උසාවි ගියාමත් අපි දිහා හැමෝම බැලුවේ අපරාධකාරයෝ විදිහට. කන්න බොන්න අඳින්න පලඳින්න කිසිම දෙයක් කර කියාගන්න බැරුව හිටියේ. අම්මා තමයි ගොඩක් විය හියදම් දුන්නේ. එයා රෙදි මහලා හම්බවෙන මුදලෙන් අපිව ජීවත් කළේ. දැනුත් මහත්තයාට රස්සාවක් නෑ. කවුරුවත් රස්සාවක් දෙන්න කැමති නෑ. අපි අපරාධකාරයො නෙමෙයි’’ ඇගේ දුක කදුළු කැට බවට හැරී කම්මුල් දිගේ රූරා වැටී බොඳවී ගියේය. කොළඹ කොටහේන මධ්‍ය මහා විද්‍යාලයේ 12 වන ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබා සිටි කේ. පී. ප්‍රසාද් කුමාර හිඟුරක්ගොඩට එන්නේ අහම්බෙන් මුණ ගැසුණු පෙම්වතිය නිසාය. ජීවිතයේ කිසිම දිනයක පොලිසියකට හෝ උසාවියකට ගොස් නැති කිසි දිනක බන්ධනාගාරයකට ගොස් නැති තමන් මේ හිරිහැර පීඩාවන්ට පත් වූයේ රජයේ රස පරීක්ෂක වාර්තාව ප්‍රමාද වීම නිසා බව ඔහු පුනා පුනා කියන්නේ මෙවැනි ප්‍රමාදයන් නිසා සිය ගණනක් නිකරුණේ බන්ධනාගාරවල මාස ගණන් අපා දුක් විඳින බව ඔහු හිරගෙදරදී දුටු නිසාය. "ඇතුළේ ඉන්නකොට මට දැනුණ දෙයක් තමයි සමහර අය නිකන් මාස ගණන් ඒවා ඇතුළේ ඉන්නේ. කුඩු බොන්න පුරුදු වෙච්ච අය ඉන්නවා කුඩුත් එක්ක අල්ලා ගත්ත කියලා ඇතුළට දාපු රස පරීක්ෂක වාර්තාව මාස 6ක් 7කින් එන්නේ. ඒ එනකොට රස පරීක්ෂක වාර්තාවේ තියෙන්නේ ඒවා කුඩු නෙමෙයි පෙනඩෝල් කුඩු කියලා. එහෙම අය මට මුණ ගැහුණා. රස පරීක්ෂක වාර්තාව ප්‍රමාද කරන්නේ නැතුව කඩිනමින් එවනවා නම් මේ පීඩාවන් නෑ. ජනාධිපතිතුමාගෙන් පොලිස්පතිතුමාගෙන්, නීතිය ක්‍රියාත්මක කරන අයගෙන් ඉල්ලන්නේ මේ රස පරීක්ෂක වාර්තා ඉක්මනින් ගන්න පුළුවන් ක්‍රමයක් හදන්න කියලා. මට වෙච්ච අසාධාරණය වෙලා ඉවරයි. ඒ තත්ත්වය අනාගතයේ ඇති නොවෙන්න මේ ආයතන කාර්යක්ෂම කරන්න. පොලිසිය ඒ අයගේ රාජකාරිය ඉ‍ටු කළේ." ඔහු කියන්නේය.
 

More News..