brand logo

පිරිමි දරුවෙකු ලිංගික අපයෝජයට ලක් කළ පුද්ගලයෙකුට බරපතළ වැඩ සහිත වසර 30 ක සිරදඬුවම්

13 January 2020

වයස අවුරුදු 16 කට අඩු පිරිමි දරුවෙකුට විවිධ තෑගි බෝග ලබාදෙමින් වසරකට ආසන්න කාලයක් වරින්වර බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා විසින් අද (13) බරපතළ වැඩ සහිත වසර 30 ක සිරදඬුවම් නියම කරන ලදී. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විනිසුරුවරයා විසින් කිරුළපන ප්‍රදේශයේ පදිංචි පනස් හැවිරිදි ව්‍යාපාරිකයෙකුට මෙසේ දඬුවම් නියම කළේය. සිර දඬුවමට අමතරව විත්තිකරුට රුපියල් 30000/- ක දඩයක් ද නියම කළ විනිසුරුවරයා එම දඩ මුදල ගෙවීම පැහැර හරිනු ලැබූවොත් විත්තිකරුට අමතරව මාස 18 ක ලිහිල් සිර දඬුවම් නියම කරන බවද තීන්දුවේ සඳහන් කළේය. අතවරයට පත් දරුවාට රුපියල් ලක්ෂ 6 ක වන්දියක් ගෙවන ලෙස ද විත්තිකරුට විනිසුරුවරයා විසින් නියෝග කරන ලදී. එම වන්දි මුදල ගෙවීම පැහැර හරිනු ලැබූවොත් විත්තිකරුට තවත් වසර හයක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කරන බව ද තීන්දුවේ සඳහන් කෙරිණි. 2013 වසරේ නොවැම්බර් මස 21 වනදා සහ 2014 වසරේ නොවැම්බර් මස 22 වැනිදා දක්වා කාලසීමාව තුළ කිරුළපනදී වයස අවුරුදු 16 කට අඩු පිරිමි ළමයෙකුට විවිධ තෑගිබෝග ලබාදෙමින් වරින් වර බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුට එරෙහිව චෝදනා තුනක් යටතේ කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබුණි. දීර්ඝ සාක්ෂි විභාගයකින් පසුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබූ චෝදනා තුන සාධාරණ සැකයෙන් තොරව ඔප්පු වී තිබෙන බව නිගමනය කළේය. දඬුවම් නියම කිරීමට පෙර රජයේ නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් ළමා පරපුරට එරෙහිව සිදුවන අපචාර සිද්ධීන් දිනෙන් දිනම වර්ධනය වීමේ ප්‍රවණතාවක් දක්නට තිබෙන බැවින් එම කරුණ විශේෂ කරුණක් සේ සලකා මෙම විත්තිකරුට නීතියෙන් ලබාදිය හැකි උපරිම දඬුවම ලබාදෙන ලෙස අයැද සිටියාය. ඉන් අනතුරුව විනිසුරුවරයා විසින් විත්තිකරුට එරෙහිව මෙම දඬුවම ප්‍රකාශයට පත් කරනු ලදී. (අධිකරණ වාර්තාකරු)
 

More News..