brand logo

පිරිත් නූල්, පැන්, අතට දෙන්න එපා

14 November 2020

කොවිඩ් - 19 වසංගතය නිසා බැතිමතුන්ට පිරිත් පැන් සහ නූල් අතට නොදෙන ලෙස ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාව, මහා සංඝරත්නයෙන් ඉල්ලීමක් කර තිබේ. රට තුළ ඇති වී තිබෙන කොවිඩ් - 19 වසංගත තත්ත්වය හමුවේ ආගමික කටයුතු සිදු කළ යුතු ආකාරය දැනුවත් කරමින් අමරපුර මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී මහාචාර්ය පල්ලේකන්දේ රතනසාර හිමියන් විසින් මහා සංඝරත්නය වෙත පිළිවෙත් මාලාවක් නිකුත් කර තිබේ. වෛද්‍ය උපදෙස් අනුව භික්ෂූන් වහන්සේලා පස් නමක් හෝ භික්ෂුණින් වහන්සේලා පස් නමක් වඩමවා සාංඝික දානය පිළිගන්වන ලෙසත්, එසේ අපහසු නම් ආරාමයට ගොස් උපසම්පන්න භික්ෂූන් වහන්සේලා හෝ භික්ෂුණින් වහන්සේලා ඉදිරියට ගොස් ස්වාමීනී අපට සංඝ දානයක් පිරිනැමීම සඳහා සංඝයාගෙන් ස්වාමීන් වහන්සේ නමක් හෝ භික්ෂුණීන් වහන්සේ නමක් ලබා දෙන්න’’ යනුවෙන් පැවසීමෙන් වැඩම කරන එක් භික්ෂුවකට හෝ භික්ෂුණියට සාංඝික වශයෙන් දානය පිළිගන්වන ලෙසත්, එම පිළවෙත්වලට අදාළ උපදෙස් මාලාවේ සඳහන් වෙයි. පන්සල තුළ කෙරෙන දන් දීමකදී හැකි සෑම විටම ආරාමය තුළ සුදුසු ස්ථානයක පුද්ගලයන් 04 දෙනකු හෝ ඊට අඩු සංඛ්‍යාවක් සහභාගි කරගෙන දානය සකසන ලෙසත්, මුඛ ආවරණ පැලඳ සිටින ලෙසත්, දානය කුඩා බඳුන්වලට දමා මේසය මත තබන ලෙසත්, දායකයින් දානය බෙදීමෙන් වැළකී සිටීම සුදුසුයැයි ද එම පිළිවෙත්වලට අදාළ උපදෙස් මාලාවේ සඳහන් වේ. වන්දනා කිරීම ඈතින් සිට කිරීම පුරාණයේ දී සිදු කර ඇති නිසා ඇවැත් දෙසීම් ආදී කටයුතුවලදී දුර ප්‍රමාණය සැලකිල්ලට ගන්නා ලෙසත්, මෙම කාලය තුළ පාත්‍රය භාවිතකිරීම ඉතා යෝග්‍ය බවත්, භික්ෂූන් වහන්සේලාගේ විනය කර්මවලදී අත්පස වැඩ හිඳීම අකුරටම පිළිපැදිය යුතු බවත් අමරපුර මහා සංඝ සභාව නිකුත් කළ උපදෙස් මාලාවේ සඳහන් වේ. වයෝවෘද්ධ හිමිවරුන්ට උපස්ථානය එක් පුද්ගලකුට සීමා කරන ලෙසත්, බහු ආරාමයෙන් බැහැර යාම සීමා කරන ලෙසත්, ආදාහන කටයුත්තක් හැර වෙනත් ආගමික උත්සව සංවිධානය නොකරන ලෙසත් වැසිකිළි භාවිතයේදී කොමඩ් එකට කවරයක් භාවිත කරන ලෙසත් අමරපුර මහා සංඝ සභාවේ ලේඛකාධිකාරී මහා සංඝරත්නයේ අවධානය යොමු කරමින් යැවූ ලිපියේ සඳහන් වේ. ඉෂාර රත්නකාර
 

More News..