brand logo

පිරවුම්හල් අසල කලහකාරී ලෙස හැසිරුණොත් තෙල් දෙන්නේ නෑ

21 May 2022

බලශක්ති ඇමති දැඩි ප්‍රතිපත්තිමය තීරණයක් ගනී

ඉන්ධන ප්‍රවාහන බවුසර් රථවලට ජනතාව විසින් සිදුකරන බලපෑම් අඛණ්ඩව පැවතියහොත් බෙදාහැරීම් කටයුතු අත්හිටුවීමට සිදුවන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ඉන්ධන බෙදාහැරීමේ බවුසර් රථ ඇනවුමට අදාළ නොවන ඉන්ධන පිරවුම්හල් වෙත ගොඩබාන ලෙස ජනතාව විසින් බලපෑම් සිදුකරන බවත් එවැනි ස්ථානවලදී ගොඩබෑම සිදු නොකරන්නේ නම් බවුසර් රථ සඳහා ගිනිතබන බවටජනතාව විසින් තර්ජනය කිරිමේ සිදුවීම් වාර්තා වන බව අමාත්‍යවරයා සඳහන් කරයි. තව ද ඉන්ධනහල් වලට අවශ්‍ය ආරක්ෂාව හෝ ඉන්ධන පිරවුම්හල් වල සේවකයන්ගේ ආරක්ෂාව තහවුරු නොකරහොත් සියලුම ඉන්ධනහල් වසා දැමීමට තීරණය කරන බව ඉන්ධන පිරවුම් හල් හිමියන්ගේ සංගමය තමාට පැවසූ බව බලශක්ති අමාත්‍යවරයා සඳහන් කරයි. ඒ අනුව ඉන්ධන පිරවුම්හල් අසල මාර්ගය අවහිර කරමින් හෝ පිරවුම්හල් අසල කලහකාරී ලෙස හැසිරෙන්නේ නම් එවැනි පිරවුම්හල්වලටද ඉන්ධන ප්‍රවාහනය නොකිරීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බව අමාත්‍යවරයා පැවසීය.
 

More News..