brand logo

පිට රට රැකියා දෙන බව පවසා කෝටි ගණනක් වංචා කළ චීවරධාරියා රක්ෂිත බන්ධනාගාරයට

25 December 2018

කැනඩාවේ රැකියා ලබා දෙන බව පවසා මහණ වෙස් ගෙන අහුන්ගල්ලේ විහාරස්ථානයක රැදී සිටිමින් දිවයිනේ විවිධ ප්‍රදේශ වල පුද්ගලයින්ගෙන් රුපියල් කෝටි ගණනක මුදල් වංචා කරන ලදැයි අහුන්ගල්ල පොලීසිය මගින් අත් අඩංගුවට ගන්නා ලද චීවරධාරියා 2019 ජනවාරි 04 වන දින දක්වා තව දුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට බළපිටිය මහේස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා පෙරේදා (24) නියෝග කළේය. සැකකරුගේ අත් අකුරු සම්බන්ධයෙන් වූ රස පරීක්ෂක වාර්තාව ලැබී නොමැති බැවින් සැකකරු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරන බවත් සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශණ සිදුකර ප්‍රගතිය වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා අහුන්ගල්ල පොලිසියට වැඩිදුරටත් නියෝග කළේය. මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ කුරුණෑගල, යන්තම්පලාව ප්‍රදේශයේ පදිංචි වන්නිනායක හේරත් මුදියන්සෙලාගේ ගාමිණී වන්නිනායක (55) හෙවත් මහාචාර්ය ගල්කුලමේ සෝරත නැමති අයයි. සැකකරුට අදාලව මුදල් වංචා සම්බන්ධයෙන් නඩු 41 ක් අහුන්ගල්ල පොලීසිය මගින් පවරා ඇත. සැකකරු අත් අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී මුදල් රුපියල් එක් කෝටි අට ලක්ෂ විසි දහසක් (1,8,20,000/-), රුපියල් දෙලක්ෂ හැට පන් දහසක් (2,65,000/-) වටිනා රන් භාණ්ඩ, රුපියල් ලක්ෂ 70 ක් (70,00000/-) වටිනා ජීප් රථයක්, රුපියල් පහලොස් දහසක් (15,000/-) ක් වටිනා අත් ඔරලෝසුවක්, ටැබ් පරිගනකයක් සහ ජංගම දුරකථන කිහිපයක්ද අහුන්ගල්ල පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ. මුදල් වංචා කරන ලද පුද්ගලයින්ගෙන් අහුන්ගල්ල පොලීසියට ලැබුණු පැමිණිලි 41 ක් මත ක්‍රියාත්මක වූ අහුන්ගල්ල පොලීසිය සැකකරුගේ දුරකථන සංවාද පරීක්ෂා කරමින් හා ලැබුණු තොරතුරු මත හලාවත මාරවිල ප්‍රදේශයේ සංචාරක හෝටලයක සැඟවී සිටියදී අහුන්ගල්ල පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ. විදේශගත වීම සදහා ගමන් බල පත්‍රයක් සකස් කරගැනීමට සැකකරු උත්සාහ කර තිබෙන බවත් එය අසාර්ථක වූ තැන හලාවත, මාරවිල හෝටලයට පැමිණ නවාතැන් ගෙන තිබෙන බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. මීට මාස 4 කට පමණ පෙර මෙම පුද්ගලයා විහාරස්ථානයෙන් අතුරුදන්ව සිටි බවද අහුන්ගල්ල පොලිසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය. අහුන්ගල්ල, ගල්වෙහෙර මඵවවත්ත පුරාණ විහාරස්ථානයේ වැඩසිටි ගල්කුලමේ සෝරත නමින් පෙනී සිටි මෙම පුද්ගලයා කැනඩාවේ විශ්ව විද්‍යාලයක මහාචාර්ය වරයකු බවත් මහාචාර්ය ජයන්ත කැලේගම මහතා සිය පියාණන් බවත් ප්‍රදේශවාසීන්ට පවසා තිබෙන බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. මෙම පුද්ගලයා ප්‍රදේශවාසීන් විහාරස්ථානයට පැමිණි පසු ඉතා සූක්ෂම අන්දමින් ඔවුන්ගේ සිත් දිනාගෙන කටයුතු කර තිබෙන බවද ඒ නිසාම ප්‍රදේශවාසීන් විශාල පිරිසක් මොහුට අවනතව කටයුතු කර තිබෙන බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වූයේ යැයි අහුන්ගල්ල පොලීසිය කියයි. අහුන්ගල්ල, බදුල්ල, වැල්ලවාය, බණ්ඩාරවෙල, ගිනිගත්හේන, අවිස්සාවේල්ල, වැලිගම, කිතුල්ගල, මහනුවර, පල්ලෙකැලේ ආදී ප්‍රදේශවල පුද්ගලයින් එකසිය පනස් දෙදෙනෙකු මුලාකරමින් ඔවුන්ගෙන් රුපියල් කෝටි අටකට අධික මුදලක් සැකකරු මෙසේ වංචාකර තිබෙන බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. කලක් මෙම විහාරස්ථානය කැලෑවෙන් වැසී ගොස් ඉතා ජරාවාසව තිබී ඇති අතර ප්‍රදේශයේ දානපතියෙක් පසුගිය කාලයේ රුපියල් කෝටියකට අධික මුදලක් වැය කර ප්‍රතිසංස්කරණය කර තිබේ. මෙම විහාරස්ථානයේ විහාරාධිපති කොස්ගොඩ, හෑගල්ල මහ විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති කොස්ගොඩ මහින්ද හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථානය ගොඩ නංවා ඇත. කොස්ගොඩ මහින්ද හිමියන් අහුන්ගල්ලේ වෙනත් ප්‍රධාන විහාරස්ථානයක වැඩ වාසය කරන බැවින් මෙම හිමිනම සොයාගෙන ඇත්තේ පුවත්පත් දැන්වීමක් පල කිරීම මගිනි. අහුන්ගල්ල, මළුවේවත්ත පුරාණ විහාරස්ථානයට හිමිනමක් අවශ්‍ය බව සඳහන් දැන්වීමක් සති අන්ත ප්‍රධාන පුවත්පතක පළකිරීමෙන් පසු මෙම හිමිනම මීට මාස පහකට පමණ පෙරදී විහාරස්ථානයට වැඩම කල බව විහාරාධිපති කොස්ගොඩ මහින්ද හිමියන් අහුන්ගල්ල පොලීසියට ප්‍රකාශ කර තිබේ. ගල්කුලමේ සෝරත නමින් පෙනී සිටි මෙම චීවරධාරියා මුදල් වංචා කිරීමෙන් පසු අතුරුදන්ව සිටි බවද අහුන්ගල්ල පොලීසිය කියයි. අහුන්ගල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සම්පත් පද්මලාල් මහතාගේ මෙහෙයවීම මත පොලිස් සැරයන් පී එච් පෙරේරා (11478) සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් නඩු කටයුතු මෙහෙයවීය. බළපිටිය - ජයකාන්ත ලියනගේ
 

More News..