brand logo

පිං පොතක් අවශ්‍ය නෑ - මට හොදට නින්ද යනවා - මෛත්‍රී

08 March 2020

තමන් ජනාධිපතිවරයා සමයේ වෙහෙර විහාරස්ථාන පිළිබදව ත් ආගමික වශයෙන් ඉ‍ටු කළ සේවාවත් අගය කරමින් මහා සංඝරත්නය ආශිර්වාද කිරීම ගැන සතු‍ටු වන බවත් තමන් කළ වැඩ සදහා පිං පොතක් ලියා නැතත් ශාසනික අභිවෘද්ධිය සදහා බොහෝ දේවල් කළ බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ත්‍රෛ නිකායික මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා දීමේ උළෙලකට සහභාගී වෙමිණි. පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් යලි දේශපාලනයට පැමිණීම නිමිත්තෙන් හිටපු ජනාධිපතිවරයාට සෙත් පතා පෙරේදා (07) සවස ආශිර්වාද පිරිත් පිංකමක් සංවිධානය කර තිබූ අවස්ථාවේ හෙතෙම මේ බව පැවසීය. “රෑ නින්දට ගියත් මම සිහිපත් කරනවා මම පොලොන්නරුවේ වෙහෙර විහාරස්ථාන සංවර්ධනයට විශාල දායකත්වයක් දරලා තියෙනවා.පසුගිය අවුරුදු 3ක් තුළ විහාරස්ථාන 113ක් සංවර්ධනය කළා. මට හොදට නින්ද යනවා මම කරපු යහපත් දේවල්වල සිතුවිලි මම නින්දට යනකොට මවා ගන්නවා. ජනාධිපති ධූරයෙන් සමු ගත්තට පස්සේ පහුගිය දවස්වල මගෙන් කිහිපදෙනෙක් ඇහුවා ජනාධිපතිතුමා පිං පොත ලියන්නේ නැද්ද කියලා.මම කිව්වා මම පිං පොත ලියලා නෑ ලියනවා නම් මට හුගාක් දේවල් ලියන්න පුළුවන් කියලා.ඒ කියපු මගේ හිතවතෙක් කීවා මම පිං පොතක් ගෙනත් දෙන්නම් කරපු දේවල් ලියන්න කියලා මට කීවා.මගේ දැනුමේ හැටියට මම පොලොන්නරුව ඉතිහාසය කියවලා තියෙන විදීහට පෙර රජ දවසෙන් පස්සේ පොලොන්නරුවේ වෙහෙර විහාරස්ථානවලට මේ තරම් විශාල මුදලක් වැයකලා ඉදිකිරීම් කරපු කාලය මගේ කාලය. අවුරුදු 3 ක ව්‍යාපෘතියක්. උණගලාවෙහෙර රජමහා විහාරස්ෂ්ථානය පස් කන්දක් තිබ්බේ. නමුත් පෙර රජ දවස වගේම චෛත්‍ය ඉදි කරන්න අවුරුදු එකහමාරකින් අපට පුළුවන් කම ලැබුණා. දිඹුලාගල ආරන්‍ය සේනාසනය මට හරිම සතුටක් දැනුනා මට ආශිර්වාද කරන්න මම ඉදි කළ ඒ තට්‍ටු ගොඩනැගිල්ලම යොදාගෙන තිබුණා. පෘතජන පුද්ගලයින් විදිහට මේ මොනතරම් දේවල් කළත් හිත් රිදීම් ඇති වෙනවා,අඩුපාඩුකම් ඇති වෙනවා.සිත් රිදවා ගැනීම් ඇති වෙනවා. ඔබ වහන්සේලා මා කළ සාශනික සේවාව අගය කළා වගේම මම ලබපු අත්දැකීමක් තමයි මම ජනාධිපති ධුරයේ ඉන්න කාලෙම වැලිකන්ද පැත්තේ පංසලක් හදන්න ලක්ෂ 50ක් දුන්නා ඒ විහ්රස්ථානයේ ගොඩනැගිල්ල හදන්න.ලක්ෂ 50 න් ඒ ගොඩනැගිල්ල හදලා විවෘත කරන්න ඊළග ගොඩනැගිල්ලට තව ලක්ෂ 50ක් දෙන්නේ නෑ කියලා මට ඒක විවෘත කරන්න දුන්නෙ නෑ.එන්න එපා කිව්වා. කන්දේගම ලක්ෂ 140ක් වියදම් කරලා විශාල වැඩ කොටසක් කළා ඔබ වහන්සේලා අමනාප වෙන්න එපා. මෙහෙම කීවට. ඒක විවෘත කරන්නත් එන්න එපා කිව්වා. යක්කුරේ තට්‍ටු දෙකක ආවාස ගෙය හදන්න ඉල්ලීම් කළා යට තට්‍ටුව සම්පූර්ණයෙන් ම අවසන් කළා .විවෘත කරන්න එන්න එපා කීවා.හුගුරක්ගොඩ පැත්තේ ඒ වගේම ආවාස ගෙය හදලා දුන්න ලක්ෂ 52ක විවෘත කරන්න එන්න එපා කීවා.ඉතින් මම බෞද්ධයෙක් විදිහට ඒ අත්දැකීමත් ලැබුවා. මොරගහකන්ද මහා ජලාශය ඉදි වීම ඒ සිහිනය සැබෑ වීමත් එක්ක ඒ සිතුවිලි පහලවීම ගැනත් මේ සංවර්ධනය කළ වෙහෙර විහාරස්ථාන මම දන්න විදිහට 113ක් සංවර්ධනය කළා. ඔබවහන්සේලා සදහන් කළා වගේ සමහර ඒවල අතපසුවීම් තිබෙනවා. ඒ අවුරුදු 3 ට කරගන්න බැරි වෙච්ච දේවල් පළවෙනි අවුරුද්දේ යෝජනා දෙන්න බැරි වුණු ඒවා. කොහොම වුනත් මම රෑ නින්දට යන විටත් මේ කරපු වැඩ ගැන සිහිපත් වෙනවා. මට ලොකු සතුටක් දැනෙනවා. ගොඩක් දේවල් මට කරන්න පුළුවන් වුණා නේද කියලා ලොකු සැනසීමකින් තමයි නින්දට යන්නේ.ඔබ වහන්සේලා දන්නවා මම ත්‍රිපිටකය ජාතික උරුමයක් කළා. ලෝක උරුමයක් බවට ප්‍රකාශයට පත් කර්න්න කටයුතු කළා.     ත්‍රෛ නිකායික මහා සංඝ්‍යාවහන්සේගේ ආශිර්වාදයෙන්,අනුශාසනා උපදෙස් මත ඔබ වහන්සේලාට මතක ඇති එදාම උතුම් ත්‍රිපිටකය ලෝක උරුමයක් කරන්න එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිතවරියට එන්න කියලා  භාර දුන්නා. සාමාන්‍යයෙන් එහෙම එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලෝක උරුමයක් කරන්න යමක් භාර දුන්නාම ඒ ක්‍රියාපටිපාටිය අවසන් වෙලා ලෝක උරුමයක් බවට ප්‍රකාශයට පත් කරන්න අවුරුදු 2ක් විතර යනවා. අද වෙන රටවල්වලින් ඉදිරිපත් කරන ඒවත් එක්ක යුනෙස්කෝ එකේ කඹ ඇදිල්ලක් ඇතිවෙලා තියෙනවා කොරියාව හා ජපන් රජය ඉදිරිපත් කරපු යෝජනා දෙකක් තියෙනවා ඒ අයගේ රටවල් ජාතික උරුමයක් විදිහට  පත් කිරීම් පිළිබදව.එතකොට ජපානෙයි කොරියාවයි ඉදිරිපත් කරපු යෝජනා දෙක එකක්.ඒ නිසා දෙගොල්ල බේර ගන්න කවුරුහරි එක්කෙනෙක් යෝජනා කරන්න කියලා. ඒ නිසා අපේ ඉදිරිපත් කළ යෝජනාවත් තාවකාලිකව නැවතිලා තියෙනවා.ඒ ගැටලුව විසදුනාම අපේ උතුම් ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් වෙයි.ඒ රටවල් දෙකේ ප්‍රශ්නය විසදා ගත්තාම අනිවාර්යයෙන් ම අපේ ත්‍රිපිටකය ලෝක උරුමයක් වේවි. අපේ යෝජනාව සුදුසු නෑ කියලා කිසිදු ආකාරයකින් වාර්තා කරලා නෑ.ඒ නිසා අපට ඒ ගැන සතු‍ටු වෙන්නට පුලුවන්.මම මාස හයකට සැරයක් රටේ කටයුතු කිරීමට ත්‍රි නිකායික මහා නායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය මට අවවාද උපදෙස් දුන්නා.ඒ අවවාද අනුශාසනා මත තමයි කටයුතු කළේ.උතුරු නැගෙනහිර ඇතුළු මුලු දිවයිනේම වෙහෙර විහාරස්ථාන සංවර්ධනයට විශාල වැඩ කටයුත්තක් කළා.ඔබවහන්සේලාගේ මේ ආශිර්වාදය මට ඉතාම වටිනවා." මෙහි දී හිටපු ජනාධිපතිවරයා සිදු කළ ශාසනික මෙහෙවර අගයා පොලොන්නරුවේ ත්‍රෛ නිකායික මහා සංඝරත්නය විසින් සමරු තිළිණයක් ද පිරි නැමීය.මෙම අවස්ථාවට වයඹ පළාත් හිටපු ආණ්ඩුකාර පේශල ජයරත්න බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් ද එක්ව සිටිය හ.
 

More News..