brand logo

පැහැරගැනීමට ලක්වූ බව කියන ස්විස් නිලධාරිනියට දෙසැ. 9 තෙක් විදෙස්ගතවීම තහනම් කෙරේ

03 December 2019

කිසියම් කණ්ඩායමක් විසින් පැහැර ගත් බව කියන ශ්‍රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන ශ්‍රී ලාංකික දමිළ ජාතික කාන්තාවකට දෙසැම්බර් මස 09 වනදා තෙක් අධිකරණයේ අවසරයකින් තොරව විදේශගතවීම තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් අද (03) තහනම් නියෝගයක් නිකුත් කරන ලදී. රහස් පොලිසිය විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය විසින් මෙම නියෝගය නිකුත් කළ අතර පැහැරගැනීමට ලක්වූ බව කියන අදාල කාන්තාවට දෙසැම්බර් මස 09 වනදාට පෙර රහස් පොලිසිය වෙත ගොස් ප්‍රකාශයක් ලබාදෙන ලෙසද නියෝග කළාය. මෙහිදී රහස් පොලිසිය වෙනුවෙන් ජේෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉකුත් 25 වනදා ශ්‍රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන ශ්‍රී ලාංකික දමිළ ජාතික වීසා නිලධාරිනියක කිසියම් පිරිසක් විසින් සුදු කාර් රථයකින් පැහැරගෙන ගොස් දැනට විදේශගතව සිටින රහස් පොලිසියේ පොලිස් පරීක්ෂකවරයෙකු වන නිෂාන්ත ද සිල්වා මහතාට වීසා නිකුත් කිරීම පිළිබඳව තර්ජනාත්මකව ප්‍රශ්නකර ලිංගික අඩන්තේට්ටම් සිදු කර ඇති බවට එම තානාපති කාර්යාලයේ තානාපතිවරයා විසින් විදේශ අමාත්‍යාංශය හරහා පොලිස්පතිවරයා වෙත යොමු කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර තිබෙන බව සඳහන් කළේය. ඒ අනුව රහස් පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලය වෙත ගොස් එම කාන්තාව පිළිබඳව විමසීම් කළ ද ඇය කවුරුන්ද සහ ඇයගේ අනන්‍යතාවය පිළිබඳ තොරතුරු හෙළිකිරීම තානාපති කාර්යාල නිලධාරීන් විසින් ප්‍රතික්ෂේප කර ඇති බවද රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. පැහැරගැනීමට ලක්වූ බව කියන මෙම කාන්තාවගේ නිවසට ගොස් පරික්ෂා කලත් එහි කිසිවෙකු නොමැති බවට කරුණු අනාවරණය වී ඇති අතර ඇය සහ පවුලේ සාමාජිකයන් විදේශගත වී ඇති බවට නිවාස සංකීර්ණයේ මුරකරු විසින් දැන්වූ බව ප්‍රකාශ කර සිටි රජයේ නීතිඥවරයා ඇයගේ ස්වාමි පුරුෂයා බැංකු නිලධාරීයෙකු වන අතර ඔහුද බැංකුවේ රාජකාරි සඳහා වාර්ථා කර නොමැති බවට විමසීම්වලදී කරුණු අනාවරණය වූ බව ද සඳහන් කර සිටියේය. තානාපති කාර්යාලයක සේවය කරන නිලධාරිනියක පැහැරගෙන යාම ඉතාම බරපතළ කරුණක් බව පෙන්වා දුන් රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා එය සුළුකොට තැකිය නොහැකි බව සඳහන් කළේය. එබැවින් එහි සත්‍ය අසත්‍ය භාවය අනාවරණය කර ගැනීම සඳහා පැහැරගැනීමට ලක්වූ බව කියන කාන්තාවගේ ප්‍රකාශ සටහන් කරගැනීම ඉතාම වැදගත් වන බවත් ලෙස සත්‍යය අනාවරණය කර ගැනීමට නොහැකි වූවොත් රටට විශාල කැළලක් සිදු වන බවද රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය.මෙය පුද්ගල බද්ධ කරුණක් නොවන අතර මුළු රටටම බලපාන ප්‍රධාන කරුණක් බව රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ සඳහන් කර සිටියේය. එබැවින් මෙම තැනැත්තිය යම් හෙයකින් විදේශ ගතවුවහොත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සත්‍ය අනාවරණය කර ගැනීමට තිබෙන අවස්ථාව සම්පූර්ණයෙන්ම ඇහිරී යන බැවින් ඇය සහ ඇයගේ ස්වාමිපුරුෂයාට විදේශ ගතවීම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසද ජේෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. මහේස්ත්‍රාත්වරිය- පැහැරගැනීමට ලක්වූ බව කියන මෙම නිලධාරිනිය පිළිබඳව ඔබලා ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයට ගොස් විමසීම් කළාද? රහස් පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් මුණසිංහ මහතා-ස්වාමීනි, තානාපති කාර්යාලයට ගොස් විමසීම් කළා. තානාපති කාර්යාල නිලධාරීන් ඇය පිළිබඳව කිසිඳු තොරතුරක් ලබා දුන්නේ නැහැ. මහේස්ත්‍රාත්වරිය- මෙම නිලධාරිනියගේ අනන්‍යතාවය පිළිබඳව තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවාද? ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් මුණසිංහ මහතා- ස්වාමීනි, ඇය නමින් ගානියා බැරිස්ටර් ප්‍රැන්සිස් යනුවෙන් හඳුනාගෙන තිබෙනවා. මහෙස්ත්‍රාත්වරිය -ඇයගේ නිවෙසට ගොස් පරික්ෂා කලාද? ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් මුණසිංහ මහතා- මාලිගාකන්ද ප්‍රදේශයේ පිහිටි ඇයගේ නිවසට ගොස් පරික්ෂා කළා ස්වාමීනි, එහි කිසිවකු සිටියේ නෑ. නිවාස සංකීර්ණයේ මුරකරු සඳහන් කළා මොවුන් විදේශගත වී ඇති බවට. දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් මෙම පරීක්ෂණයට අදාලව සත්‍යය අනාවරණය කර ගැනීම සඳහා පැහැරගැනීමට ලක්වූ බව කියන කාන්තාවගේ ප්‍රකාශ සටහන් කරගැනීම ඉතාම වැදගත් බව සඳහන් කළාය. යම් හෙයකින් ඇය විදේශ ගත වුවහොත් පරික්ෂණ වලට බාධාවක් සිදු විය හැකි බවට පෙනී යන හෙයින් රහස් පොලිසියට ගොස් ප්‍රකාශයක් ලබා දෙන තුරු මේ මස 09 වැනිදා තෙක් අධිකරණයේ අවසරය නොමැතිව ඇයට විදේශ ගතවීම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන බව මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළාය. මෙය පූර්ණ විදේශ ගමන් තහනමක් නොවන බවද මහේස්ත්‍රාත්වරිය සිය නියෝගයේ සඳහන් කළාය. අදාළ කාන්තාවට මේ මස 9 වැනිදාට පෙර රහස් පොලිසිය හමුවට ගොස් ප්‍රකාශයක් ලබාදෙන ලෙසද මහේස්ත්‍රාත්වරිය විසින් නියෝග කරන ලදී. මෙම නියෝගයේ ලිඛිත පිටපතක් අදාළ කාන්තාව වෙත ලබාදීමට පියවර ගන්නා ලෙසද මහෙස්ත්‍රාත්වරිය විසින් රහස් පොලිසියට නියම කර ලදී. මෙම කාන්තාවගේ ස්වාමි පුරුෂයාගේ ද විදේශ ගමන් තහනම් කරන ලෙස රහස් පොලිසිය විසින් ඉල්ලා සිටියද එය මෙම විමර්ශනයට සෘජුවම අදාල නොවන කරුණක් බැවින් එම ඉල්ලීමට ඉඩ නොදෙන බවද මහේස්ත්‍රාත්වරිය සිය තීන්දුවෙන් සඳහන් කළාය. ඉන් අනතුරුව පැමිණිල්ල නැවත දෙසැම්බර් මස 9 වනදා කැඳවීමට නියම කෙරුණු අතර වැඩිදුර පරීක්ෂණ පවත්වා එදින වාර්තාවක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස ද ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් රහස් පොලිසියට නියෝග කර ලදී. (අධිකරණ වාර්තාකරු )
 

More News..