brand logo

පැවැති හැම රජයක්ම එකයි - පාස්කු ප්‍රහාරය ගැන නිසි විමර්ශනයක් නෑ

19 February 2020

අපේ රටේ හැමදාම වුණේ මහජනතාවට අසාධාරණයක් වුණාම රජය ඒක කාපට් එක යටට දාලා හංගන එක. පාස්කු ප්‍රහාරය පිළිබඳ සිදුවන විමර්ශනවලටත් එහෙම වෙන්න දෙන්න බැහැ. අහිංසක මිනිස්සු තුන්සිය ගාණක් මියගිහිල්ලා තවත් මිනිස්සු පන්සියයකට වැඩිය තුවාල ලබපු ප්‍රහාරයේ සුල මුල අනිවාර්යෙන්ම මේ රටේ ජනතාව දැන ගත යුතු’ යැයි කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි ඊයේ (18 වැනිදා) ප්‍රකාශ කළේය. උන්වහන්සේ මේ බව කියා සිටියේ ඊයේ (18 වැනිදා) කොළඹ අගරදගුරු නිවාසයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය. පාස්කු ප්‍රහාරය පිළිබඳව මෙතෙක් පත් කරපු කමිටු ලබාදුන්න තොරතුරු දත්ත පිළිබඳ සෑහීමකට පත්වෙන්න බැහැ. ජනාධිපති කොමිසමේ කටයුතු පිළිබඳ විතරක් යම් විශ්වාසයක් රඳවා ගන්න පුළුවන්. නමුත් මේ ක්‍රියාදාමය තව තවත් ශක්තිමත් විය යුතු බව අපේ අදහස. කොමිසම හොඳින් ක්‍රියාත්මක වුණාට ආරක්ෂක අංශ නිසි පරිදි ක්‍රියාත්මක වෙනවද යන්නයි. බෝම්බ ප්‍රහාරය එල්ල කරපු අය කවුද කියන එක ගැන ක්‍රමවත් විමර්ශනයක් සිදුකරන බවක් පෙනෙන්නේ නැහැ. කිහිපදෙනෙක් රක්ෂිත බන්ධනාගාරගත කරලා තියෙනවා. නමුත් මේ අයට සල්ලි දුන්නේ කවුද? මෙයාලට මේ තරම් සංවිධානගත වෙන්න දේශපාලන හයියක් ලැබුණද? මේ ප්‍රහාරයෙන් දේශපාලන වාසි ගන්​නේ කවුද කියන කාරණා පවා ආරක්ෂක අංශයේ අවධානයට යොමු වෙන්න ඕන. මොකද සමහර සැකකරුවන් නිදහස් කරන්න දුරකථන ඇමැතුම් දුන් දේශපාලනඥයන් ගැන කියැවුණා. ඉතින් ඒ දුරකථන ඇමැතුම් ගැන කවද්ද විමර්ශනය කරන්නේ? පැවතිච්ච හැම රජයක්ම මහජනතාව වෙනුවෙන් කවදාවත් පෙනී සිටියේ නැහැ. මේ සිදුවීමටත් ඒක වෙන්න දෙන්න එපා. මේ සිදුවීම ගැන මීට වඩා පුළුල්ව විග්‍රහ කරන්න කියලා, මම වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයෙන් ඉල්ලා සිටිනවා. තවත් කරුණක් තියෙනවා සඳහන් කරන්න. දැන්ටත් යම් යම් සැකකටයුතු ​දේවල් කිහිපයක් පිළිබඳව මට පෞද්ගලිකව ආරංචි වුණා. පසුගිය දවසක මීගමුවට පැමිණි පාකිස්තාන ජාතිකයන් දෙදෙනෙක් මීගමුවේ කතෝලික පාසලක් වීඩියෝ ගත කරලා තියෙනවා සැකකටයුතු විදිහට. මෙයාලා ලංකාවේ ඉඳලා තියෙන්නේ පැය විසි හතරයි. මේ වගේ සැකකටයුතු පුද්ගලයන් කිහිපදෙනෙක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා’ යැයි කාදිනල් හිමි මෙහිදී වැඩිදුරටත් පැවැසීය.   කලණ වීරසිංහ
 

More News..