brand logo

පැල්වැහැර නිරෝධායන මධ්‍යස්ථානයේ මැලේරියා රෝගියෙක්

30 June 2020

දඹුල්ල පැල්වැහැර කොවිඩ් 19 නිරෝධානය මධ්‍යස්ථානයෙන් මැලේරියා රෝගියෙකු හමුවී තිබේ. රෝගියා මැඩගස්කරයේ සිට මෙරටට පැමිණි පුද්ගලයකු බව ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර පැවැසීය. දඹුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරුන්ගේ සෘජු අධීක්‍ෂණය යටතේ රෝගියා නේවාසිකව ප්‍රතිකාර ලබන අතර මැඩගස්කරයේ සිට පැමිණ එම නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වන පුද්ගලයන් එකසිය පස්දෙනෙකුගේ රුධිර සාම්පල් ලබාගෙන පරීක්‍ෂා කිරීමට පියවර ගෙන ඇත. දඹුල්ල පැල්වැහැර නිරෝධායන මධ්‍යස්ථානය අවට කිලෝ මීටරයක් ප්‍රදේශය තුළ මැලේරියා කීට විද්‍යාත්මක සමීක්‍ෂණ සිදු කරන බවද අධ්‍යක්‍ෂවරයා පැවැසීය. පසුගිය වසරේ අගෝස්තු මාසයේදී දඹදිව වන්දනාවේ ගොස් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු මාස දහයකට පසුව මැලේරියා රෝගීන් බව තහවුරු කරගෙන ඇත. ගෙවුණු සතියේදී ඔවුන් හඳුනාගෙන ඇත. කලවාන සහ රත්නපුර පදිංචි රෝගීන් දෙදෙනාට මැලේරියා ප්‍රතිකාර ලබාදුන් බවද අධ්‍යක්‍ෂවරයා පැවැසීය. උණ හෝ උණ රෝග ලක්‍ෂණ ඇතිව ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණෙන රෝගීන් වසරක් තුළ ලෝකයේ මැලේරියාව පවතින රටවල සංචාර/රැකියා/අධ්‍යාපන හෝ වෙනත් පෞද්ගලික අවශ්‍යතාවලට ගොස් තිබේද යන්න තහවුරු කර ගැනීමට පියවර ගන්නැයි ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක් කරයි. මැලේරියාව පවතින රටවල සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා සිටින සියලුම දෙනා ඉන් පිටත්ව යාමට පෙර මැලේරියා නොමැති බවට රුධිර සාම්පල ලබාගෙන තහවුරු කිරීමටද පියවර ගන්නා බව එහි අධ්‍යක්‍ෂ ප්‍රසාද් රණවීර පැවැසීය. සුනිල් රූපසිංහ - පල්ලේපොළ
 

More News..