brand logo

පැය 6 1/2ක් අරවින්දගේ ප්‍රකාශ සටහන් කරගනියි

01 July 2020

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පාවාදුන්නේ යැයි නැගෙන චෝදනාව සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන කමිටුව හමුවට ඊයේ (30දා) කැඳවූ එවක තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා මහතා එම කමිටුව හමුවේ පැය 6 1/2ක කාලයක් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව රාත්‍රි 9.00 ආසන්නයේ නික්ම ගියේය. මෙම කරුණු දැක්වීම වෙනුවෙන් පස්වරු 2.30ට පමණ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ ක්‍රීඩාව සම්බන්ධ විශේෂ විමර්ෂණ කමිටුව වෙත අරවින්ද ද සිල්වා මහතා පැමිණි අතර ඔහු පැමිණියේ නීතිඥයන් සිව්දෙනකු සමගය. ඔහුගේ ප්‍රකාශ සටහන් කරගැනීම අදාළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් ෆොන්සේකා ප්‍රමුඛ විමර්ශන නිලධාරීන් තිදෙනකු විසින් සිදුකළ අතර එහිදී ප්‍රකාශිත කරුණු මොනවාද යන්න මාධ්‍ය වෙත හෙළි නොකරන ලදී. විමර්ශනයේදී ප්‍රකාශිත කරුණු සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ යමක් කීමට මේ මොහොතේ නොහැකි වුවත් විමර්ශන අවසානයේ සැබෑ තතු හෙළිවනු ඇතැයි ප්‍රකාශ සටහන් කරගැනීම අවසානයේ පිටව යන අතරතුර අරවින්ද විසින් පවසන ලදී. නීතිපතිතුමන්ගේ උපදෙස් අනුව විමර්ශන කටයුතු සිදුකරන අතර තරග පාවාදීමේ කටයුත්තක් විදේශයකදී සිදුවුවද එය සිදුකළේ ශ්‍රී ලාංකික පුරවැසියකු නම් ඒ පිළිබඳ විමර්ශන සිදුකිරීමේ හා ඒ අනුව එයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය සිය ඒකකය සතුව ඇතැයි පොලිස් අධිකාරී ෆොන්සේකා, මාධ්‍ය විසින් මෙහිදී නගන ලද පැනයකට පිළිතුරු වශයෙන් පැවසීය. මෙහි ඉදිරි විමර්ශන කටයුතුවලදී කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ අදළ නිලධාරීන්ද කැඳවීමට නියමිත බව ඔහු වැඩිදුරටත් පැවසූ අතර ඒ අනුව අද (01වැනිදා) උදෑසන නමයට එම ලෝක කුසලාන නියෝජනය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු උපුල් තරංගව කැඳවීමට නියමිතය. https://www.youtube.com/watch?v=T4rFItktFgQ
 

More News..