brand logo

ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයෙන් අනතුරු ඇඟවීමක්

24 September 2022

පැය අටක් දහයක් විදුලිය කැපෙන්න ළඟයි

මෙරටට ගල් අඟුරු ආනයනය කිරීම සඳහා අගෝස්තු 25 ඉදිරිපත් කර තිබූ ටෙන්ඩරය අවලංගු කිරීමට පසුගිය බ්‍රහස්පතින්දා රැස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කිරීමත් උද්ගතව ඇති විදේශ විනිමය හිඟයත් හේතුවෙන් විදුලිය සැපයුම බරපතළ අනතුරකට ලක්වන බව ‘අරුණ’ කරන ලද නිරීක්ෂණවලදී අනාවරණය වේ. මීට පෙර එනම් 2022 සැප්තැම්බර් 12 වැනිදා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර ඇමැති මණ්ඩලය හමුවේ අනාවරණය කර තිබුණේ සති 02ක කාලයක් ඇතුළත ගල් අඟුරු සැපයුම්කරුවකු පිළිබඳ ගැටලුව නිරාකරණය කර ගැනීමට නොහැකි වුවහොත් ‘අරාජික’ (Anarchical) තත්ත්වයක් උද්ගතවිය හැකි බවයි. එහෙත් සැප්තැම්බර් 23 වැනිදා ඇමැතිවරයා විසින්ම කළ ප්‍රකාශයට අනුව ගල් අඟුරු සැපයුම්කරුවකු තෝරා ගැනීමට නොහැකි වී ඇති අතර ඒ වෙනුවෙන් නව ටෙන්ඩර් කැඳවීමක් සිදුකර සැපයුම්කරුවකු සොයාගත යුතුව ඇත. ඒ අනුව නව ටෙන්ඩරයක් කැඳවා ගල් අඟුරු නැව්ගත කිරීමක් කළ හැකි කාලය මේ වන විට අවිනිශ්චිත වී තිබේ. ඇමැතිවරයා සිය කැබිනට් පත්‍රිකාවෙන් පෙන්වා දී තිබුණේ සති දෙකක් ඇතුළත ගැටලුව නිරාකරණය නොවුණහොත් දිනකට පැය 8-10 අතර කාලයක් විදුලිය විසන්ධි කිරීමට සිදුවන බවයි. මේ අතර පැරණි ටෙන්ඩරයට අනුව දැනට ගල් අඟුරු මෙරටට සපයමින් සිටින සමාගමේ සැපයුම් අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා ඔක්තෝබර් 25 වැනිදා වනවිට අවම වශයෙන් ඩොලර් මිලියන 95ක මුදලක් අදාළ සමාගමට ගෙවිය යුතුව ඇත. ඒ අවම වශයෙන් ගල් අඟුරු තොග 05ක් ලබා ගැනීම වෙනුවෙනි. එහෙත් මහ බැංකුවට එම ඩොලර් ප්‍රමාණය ලබා ගැනීම ගැටලු සහගත වී ඇත. ඔක්තෝබර් 25 වැනිදා වන විට නොරොච්චෝලේ බලාගාරය සතු ගල් අඟුරු තොග අවසන් වීමට නියමිතව ඇතත් දැනට ක්‍රියාත්මක ජනන යන්ත්‍ර දෙක හා අමතරව අලුත්වැඩියාවක් හේතුවෙන් නතර කර දමා ඇති තෙවන ජනන යන්ත්‍රයද ලබන මාසය අවසන් වන විට සක්‍රිය කිරීමට හැකියාව ලැබේ. එහෙත් නියමිත කාලයට රටට ගල් අඟුරු ලබා ගැනීමට නොහැකි වුවහොත් නොරොච්චෝලේ බලාගාරය අක්‍රිය වී ජාතික විදුලි පද්ධතියට සැපයෙන මෙගාවොට් 810ක ප්‍රමාණයක් අහිමි වනු ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය අනතුරු අඟවයි. විශේෂයෙන් නොරොච්චෝලේ බලාගාරයෙන් ලැබෙන විදුලිය ධාරිතාවට අමතරව ජල විදුලි බලාගාරවලින් ලැබෙන විදුලිය ප්‍රමාණයද ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බැවින් අවම තරමින් දිනකට පැය 18-20ක විදුලිය කප්පාදුවකට වුවද යෑමට විදුලි බල මණ්ඩලයට සිදුවනු ඇතැයි මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘අරුණට’ පැවැසීය. නයන තරංග ගමගේ / අශිකා ජයවීර
 

More News..