brand logo

පැදගෙන යමුද නගෝ

06 July 2019

නෙදර්ලන්ත තානාපතිනිය පසුගිය සිකුරාදා සන්ධ්‍යාවේ ටොරින්ටන් නිල නිවසේ සිට කොළඹ නගර සභාවට බයිසිකලය පැද්දාය. සාමාන්‍ය තානාපති සම්ප්‍රදාය අනුව තානාපති සේවය හෙවත් විදේශ රාජ්‍ය දූතයන් යනෙන විට තම රටේ ධජය එම වාහනයේ සවිකොටගෙන යා යුතුය. එසේම විදේශ රාජ්‍ය දූත සේවය හඟවන DPL ලකුණ තම නිල රථයේ පසුපස අලවාගෙන මාවතට අවතීර්ණ වීම සිරිතය. එම ලකුණු දෙක හඳුනා ගත්තෝද ආරක්ෂක අංශද එබඳු විදේශ දූත සේවා නිලධාරින්ට යම් ප්‍රමුඛතාවක් ලබා දෙයි. එහෙත් සිකුරාදා කොළඹ නගර සභාවට බයිසිකලයෙන් ආ තානාපතිනි Joanne Doorneward මහත්මියගේ බයිසිකලය දෙපස ඒ ලකුණු දෙකම නොතිබුණි. ඇය කොළඹ නගරාධිපතිනිය රෝසි සේනානායක මුණගැහෙන්නට ආවේ සාමාන්‍ය ගැහැනියක පරිද්දෙනි. එහෙත් ඒ ඇය ආවේ අසාමාන්‍ය වැඩකටය. එ් කොළඹ නගර සභාවත්, ඒ අවට මාවත් වූ ලිබර්ටි වරටවුම සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මාවත, නිදහස් මාවත යන මාවත් මෝටර් වාහනවලින් තොර කලාපයක් බවට පත් කර ඒවායේ පාපැදි ආදී වාහනවලින් ගමනාගමනයට ඉඩ සලසා දීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහාය. කොළඹ පුරපතිනිය සමග එම වැඩපිළිවෙළ පිළිබඳ සාකච්ඡා කළ අෑ ආරම්භයේදී මේ මස 14 වැනි ඉරිදා ඉහත කී මාවත් මෝටර් වාහනවලින් තොර කලාපයක් බවට පත් කිරීමේ වැඩසටහනකට පදනම දමා ගත්තාය. මෝටර් වාහනවලින් තොර එම කලාපයේ ඉරිදාට නිකන්ම පාපැදි පැදීමෙන් ඇති ඵල ප්‍රයෝජනයක් වේද? එහෙත් එම මාවත් දෙපස විශ්ව විද්‍යාල සිසුන්ගේද පාසල් සිසුන්ගේද නිර්මාණ හා චිත්‍ර මිලට ගැනීමටද, නැරඹීමටද ඉඩ සලසා දෙනු ඇත. එසේම ප්ලාස්ටික්වලින් තොර, වස විසෙන් තොර ආහාරවලින් යුතු කලාපයක් බවට පත් කිරීමද පුරපතිනියගේත් තානාපතිනියගේත් අදහසය. ‘‘අපේ ඕලන්ද ජනතාව හොඳට දන්නවා පාපැදි ආදී වාහන භාවිතයෙන් නගරයකට සැලසෙන සේවය. අපේ ජාතික දත්ත අනුව පාපැදි භාවිතය නිසා මාර්ග අනතුරු අපේ රටේ අවමයි. අපට නිදහසේ හොඳ වාතාශ්‍රය උරා ගන්න පුළුවන්. අපිට අනාගතයේ වාහන දුමෙන්, ශබ්දයෙන් තොරව කොළඹ නගරයේ ලස්සන දකින්න පුළුවන්. නෙදර්ලන්ත තානාපතිනියගේ අදහස තම රටේ තිබෙන මේ ජීවන චර්යාවන් අපටද පුරුදු කිරීමය. ඕලන්දයෙන් අප ගත් දෑ බොහෝය. තවමත් නගරයට කෞතුක වටිනාකමක් එක් කරන්නේ එදා ඕලන්දයින් කොළඹ තැනූ ගොඩනැගිලිවලිනි. අපි වචන දෙතුන් සියයක් කතා කරන විට ලන්දේසි වචන කිහිපයක් එළියට පනින්නේය. ඉදින් නෙදර්ලන්තයේ වර්තමානයේ තිබෙන හොඳ හොඳ දේ අප ගත්තාට තිබෙන වරද කිම. මේ සාකච්ඡාව අවසානයේ තානාපතිනිය යළි තම නිල නිවසට ගියේද පාපැදියෙනි. ඒවා නගරාධිපතිනියටත්, අපේ රට කරවන්නන්ටත් ගත හැකි හොඳ ආදර්ශය.
 

More News..