brand logo

පැටවා කුසට එන්නටත් පෙර කිරි ගවයන් 20,000 ක් ගන්න කෝටි 170 ක් ගෙවලා

09 March 2019

ආනයනය කිරීමට අපේක්ෂිත කිරි ගවයන් 15,000 ක් සඳහා රුපියල් කෝටි 174 ක අත්තිකාරම් මුදලක් විදෙස් සැපයුම්කරුවකුට ගෙවීමට ග්‍රාමීය කටයුතු අමාත්‍යාංශය මීට වසරකට පෙර (2018) පියවර ගෙන ඇතැයි තොරතුරු හෙළි වේ. විදේශ බැංකුවකින් ලබාගත් ණය මුදලක් මගින් මෙම ගෙවීම් සිදුකර ඇත. 2018 මැයි 08 වැනි දින අදාළ මුදල විදේශ සැපයුම්කරුට ගෙවා ඇත්තේ 2018, 2019 හා 2020 දී ආනයනය කිරීමට නියමිත සතුන් සඳහායි. 2018 වසරේ කිරිගවයන් 2500 ක් ආනයනය කිරීමට නියමිතව තිබුණද මේ වනතෙක් එම කිරි ගවයන් මෙරටට ගෙන්වා නොමැති බව වාර්තා වේ. ඊට අමතරව 2019 දී සතුන් 7500 ක්ද, 2020 දී සතුන් 5,000 ක්ද වශයෙන් ගෙන්වීමට සැලසුම්කර ඇති අතර ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් 55,465,541 ක් වැය කිරීමට නියමිතය. ඉන් සීයට 20% ක් අත්තිකාරම් මුදලක් වශයෙන් ග්‍රාමීය, ආර්ථික කටයුතු අමාත්‍යාංශය මෙසේ මුදල් ගෙවා අැත. එහෙත් එම වියදමට විසර්ජන පනත මගින් ප්‍රතිපාදන ලබාගෙන නොමැත. එසේ විදේශ බැංකුවකින් ලබාගත් ණය මුදලට මේ වන විට මුදල් හා පොලිය ගෙවන අතර විදේශ විනිමය අවප්‍රමාණය වීමේ අලාභයද එම සතුන් රටට ගෙන ඒමට පෙර සිටම ශ්‍රී ලංකා රජයට ගෙවීමට සිදුව තිබේ. ශ්‍රී ලංකා රජයට අදාළ සැපයීම ලබා ගැනීමකින් තොරව රජයේ මුදල් විදේශීය සැපයුම්කරුවකුගේ පරිහරණයට ගැනීමට මෙමගින් අවස්ථාව ලැබී තිබේ. ඒ වන විට එම අමාත්‍යාංශයේ ඇමැතිවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ පී. හැරිසන් වන අතර ඇමැතිවරයාගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ, ‘‘බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ කාලයේ තමයි රජයේ ෆාම්වලට කිරි හරක් ගෙනාවේ. ඒකෙ දෙවන අදියර යටතේ පුද්ගලික ගොවිපොළවලට ගේන්න තමයි ඔය ගිවිසුම් අත්සන් කළේ. කොහොම හරි ඒ ගෙන්වීම නතර කරලා තියෙනවා, මේ වන විට’ යැයි ඇමැතිවරයා සඳහන් කළේ ය.
 

More News..