brand logo

පා.ම. වෙල්ගමගේ ප්‍රතිශෝධන පෙත්සම ප්‍රතික්ෂේප කෙරේ

12 September 2019

ලංකා ගමනාගමන මණ්ඩලය තුළ නොමැති තනතුරක් වූ නියෝජ්‍ය සභාපති තනතුරක් නිර්මාණය කර රජයට රුපියල් ලක්ෂ 33 ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවෙන් තමන්ව නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ප්‍රවාහන අමාත්‍ය සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් ප්‍රතික්ෂේප කිිීරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (12) නියෝග කළේය. තීන්දුව ප්‍රකාශයට පත්කළ මහාධිකරණ විනිසුරුවරයා මෙම ඉල්ලීම තුළ පදනමක් නොමැති හෙයින් එය ප්‍රතික්ෂේප කරන බව විනිසුරුවරයා සදහන් කළේය. පෙත්සම්කාර හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතා තම ප්‍රතිශෝධන පෙත්සම තුළින් කොළඹ මහාධිකරණය හමුවේ කරුණු දක්වමින් තමා ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස සේවය කළ අවධියේ ලංකා ගමනාගමන මණ්ඩලය තුළ නොමැති තනතුරක් වූ නියෝජ්‍ය සභාපති තනතුරක් නිර්මාණය කර එම තනතුරේ කටයුතු කළ පුද්ගලයාට වැටුප් හා දීමනා වශයෙන් රුපියල් ලක්ෂ 33 ක් ගෙවා එම මුදල රජයට පාඩු සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් තමාට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ගොනුකළ බව ප්‍රකාශ කර තිබේ. එම නඩුව ගොනු කිරීම සඳහා අල්ලස් කොමිසමට කොමසාරිස්වරු තිදෙනාම සිය අත්සන් යොදා නොමැති හෙයින් ඊට අදාළ චෝදනා පත්‍රය ගොනු කර ඇති ආකාරය නීතියට පටහැනි බව සඳහන් කරමින් තම නීතිඥවරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මූලික විරෝධතාවක් ඉදිරිපත් කළ බව කුමාර වෙල්ගම මහතා සිය පෙත්සමෙන් කියා සිටී. එහෙත් එම මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කරමින් නඩුව අඛණ්ඩව විභාගයට ගැනීමට මහේස්ත්‍රාත් අධිකරණය තීන්දු කළ බවත් එම තීන්දුව නීතියට පටහැනි බවත් පෙත්සම්කාර කුමාර වෙල්ගම මහතා සඳහන් කරයි. එහෙයින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් දුන් තීන්දුව ප්‍රතිශෝධනය කර තමන්ව චෝදනා වලින් නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද කුමාර වෙල්ගම හිටපු අමාත්‍යවරයා කොළඹ මහාධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබූ ප්‍රතිශෝධන පෙත්සමෙන් වැඩිදුරටත් අයැද තිබේ. අධිකරණ වාර්තාකරු
 

More News..