brand logo

පා.ම. පාඨලිගේ රියදුරු ඇප මත මුදාහැරේ

06 January 2020

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ ඇති වූ රිය අනතුරු සිද්ධියක් සම්බන්ධයෙන් කරුණු වසන් කිරීම හා රිය අනතුරක් සිදුකර පලා යාම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු වූ දිලුම් තුසිත කුමාර නැමැත්තා දැඩි කොන්දේසි සහිත ඇප මත මූදාහරිණ ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නේරංජනා ද සිල්වා මහත්මිය අද (06) නියෝග කළාය. ඒ අනුව අදාළ සැකකරු රුපියල් 250,000/- ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය සැකකරුගේ ඇපකරුවන් සිය පදිංචිය තහවුරු කිරීමේ ලේඛන අධිකරණය වෙත ඉදිරිපත් කළ යුතු බවට ද නියෝග කළාය. ඇප තැබීමෙන් පසුව සෑම මසකම අවසන් ඉරු දින කොළඹ අපරාධ කොට්ඨාශයට වාර්තා කළ යුතු බවටත් විමර්ශන කටයුතුවලට උපරිම සහාය ලබාදිය යුතු බවටත් මහේස්ත්‍රාත්වරිය විසින් සැකකරුට නියෝග කරන ලදී. මෙම පැමිණිල්ල අද දින කැඳවනු ලැබූ අවස්ථාවේදී රිමාන්ඩ් භාරයේ පසුවූ දිලුම් තුසිත කුමාර නැමැති සැකකරු වෙනුවෙන් ඔහුගේ නීතිඥ අජිත් පතිරණ මහතා ඇප අයදුම ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ තම සේවාදායකයා ස්වේච්ඡාවෙන්ම අධිකරණයට පැමිණ බාර වූ බවත් එබැවින් ඔහු ඇප මත මුදා හරින ලෙසත්ය. එම ඉල්ලීමට දැඩි විරෝධය පළ කර සිටි රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා මෙම සැකකරු ගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පොලිසිය සූදානම් වෙමින් සිටි අවස්ථාවේදී ඉකුත් නඩු දින නීතිඥවරුන් දෙදෙනෙකු විසින් අධිකරණයේදී විත්තිකරුව විත්ති කූඩුවට නැංවීමට කටයුතු කළ බව චෝදනා කර සිටියේය. "ස්වාමීනි පසුගිය නඩු දිනයේ නීතිඥවරුන් දෙදෙනෙකු එක්වරම මෙම විත්තිකරුව විත්ති කූඩුවට ඉදිරිපත් කළා. ඉන් අනතුරුව අධිකරණය මඟින් ඔහු රිමාන්ඩ් භාරයට පත් කළා. අධිකරණයෙන් ලබාගත් නියෝගයක් පරිදි පොලිසිය රිමාන්ඩ් බන්ධනාගාරය තුළදී මෙම සැකකරුගෙන් ප්‍රකාශ සටහන් කර ගත්තා. එම ප්‍රකාශය තුළින් මෙම සැකකරුට සැඟවී සිටීමට ඉඩ දුන් පුද්ගලයින් පිළිබඳව ඔහු සඳහන් කර තිබෙනවා. ඔහුව සඟවාගෙන සිටියේ ප්‍රබල පුද්ගලයෙක් බවට ඔහුගේ ප්‍රකාශ වලින් හෙලිවී තිබෙනවා. ඊට නීතිඥවරුන් සම්බන්ධ බවත් මා කියා සිටිනවා. ස්වාමීනි, මෙම සැකකරුගේ ප්‍රකාශය මගින් හෙළිදරව් වී ඇති කරුණු මත වැඩිදුර පරීක්ෂණ සිදු කිරීමේ අවශ්‍යතාවක් මතුව තිබෙනවා. ඒවගේම පාඨලී චම්පික රණවක නමැති සැකකරුගෙනුත් නැවත ප්‍රකාශයක් සටහන් කර ගැනීමේ අවශ්‍යතාවක් මතු වී තිබෙනවා. මෙම රිය අනතුර සිදුවන අවස්ථාවේ තමාගේ දුරකතනය දෙවන සැකකාර රියදුරු භාරයේ තිබූ බව පාඨලී චම්පික රණවක නමැති සැකකරු තම ප්‍රකාශයේ සඳහන් කර තිබුණා. එහෙත් දුරකථන සංඥා හා කුළුණු පිළිබඳ වාර්තා පරීක්ෂාකිරීමේදී එම අවස්ථාවේ පාඨලී චම්පික රණවක සහ දිලුම් තුසිත කුමාර යන සැකකරුවන් දෙදෙනාගේ දුරකථන මාර්ග දෙකක ගමන් කරමින් තිබූ බව අනාවරණය වී තිබෙනවා. ඊට අමතරව අනතුරට ලක්වූ සැකකාර හිටපු අමාත්‍යවරයා විසින් පැදවූ වාහනය වෙනත් අමාත්‍යාංශයකට අයත්ව තිබියදී ඔහු විසින් පරිහරණය කළේ කෙසේද යන්න පිළිබඳව අදාල අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අවශ්‍යව තිබෙනවා. ඒ වගේම තවත් පුද්ගලයින් හත් දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව තිබෙනවා"යනුවෙන් සඳහන් කර සිටියේ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා මෙම අවස්ථාවේ අදාළ සැකකරුට ඇප ලබා දුනහොත් ඉදිරි විමර්ශන කටයුතුවලට දැඩි හානියක් සිදුවිය හැකි හෙයින් ඔහුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඊට ප්‍රතිචාර දක්වමින් සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අජිත් පතිරණ මහතා මෙම සැකකරු කිසිදු අවස්ථාවක අධිකරණය මගහැර ගිය පුද්ගලයෙකු නොවන අතර ඔහු ස්වෙච්ඡාවෙන්ම අධිකරණයට ඉදිරිපත් වූ අයෙකු බවද සඳහන් කර සිටියේය. මෙම සැකකරු කිසිදු අවස්ථාවක ඇප පනතේ ප්‍රතිපාදන උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බවට කරුණු ඉදිරිපත් නොවන හෙයින් ඔහු ඕනෑම කොන්දේසියක් සහිත ඇපයක් මත මුදා හරින ලෙස ද නීතිඥවරයා වැඩිදුරටත් අධිකරණයෙන් අයැද සිටියේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය මෙම සැකකරු ස්වේච්ඡාවෙන්ම අධිකරණයට ඉදිරිපත් වූ පුද්ගලයකු බව සටහන් කළ අතර ඔහු ඇප මත මුදාහැරීම තුළින් ඉදිරියේදී ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත පුද්ගලයින්ට බලපෑමක් එල්ල විය හැකි බවට කරුණු ඉදිරිපත් වී නොමැති බවද සඳහන් කළාය. ඒ අනුව දිලුම් තුසිත කුමාර නමැති සැකකරු ඇප මත මුදා හරින ලෙස මහේස්ත්‍රාත්වරිය විසින් නියෝග කරන ලදී. මෙහිදී සැකකාර පාඨලී චම්පික රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා ඇපමත මුදා හැරීමේදී සෑම මසකම අවසන් ඉරුදින කොළඹ අපරාධ කොට්ඨාශයට වාර්තා කළ යුතු බවට කොන්දේසියක් අධිකරණය විසින් පනවනු බව සඳහන් කළේය. එම ඇප කොන්දේසියේ සඳහන් සෑම මසකම අවසන් ඉරිදා යන දිනය වෙනුවට වෙනත් ඕනෑම දිනයක කොළඹ අපරාධ කොට්ඨාශයට වාර්තා කිරීම සඳහා අවසර දෙන ලෙස ද ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් සිටියේය. එම ඉල්ලීම පිළිගත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය සෑම මසකම අවසන් ඉරුදින වෙනුවට සෑම මසකම අවසන් සිකුරාදා කොළඹ අපරාධ කොට්ඨාශයට ගොස් වාර්තා කරන ලෙස ද සැකකාර හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට නියෝග කරන ලදී. අනතුරුව පැමිණිල්ල පෙබරවාරි මස 24 වනදා යළි කැඳවන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරිය එදින මෙම පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කර ලෙසද අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්ට නියෝග කළාය. (අධිකරණ වාර්තාකරු)
 

More News..