brand logo

පා.ම. නාමල් රාජපක්ෂගේ නඩුව ලබන පෙබරවාරි දක්වා කල්යයි

24 October 2019

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 15 ක මුදලක් එන්. ආර්.කන්සල්ටන්සි නැමති සමාගම ආයෝජනය කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළ බවට සැකකෙරෙන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් හතර දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ල ලබන පෙබරවාරි මස 27 වන දා දක්වා කල් තබන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (24) නියෝග කළාය. පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු දක්වමින් මෙම පැමිණිල්ලට අදාළ විමර්ශන කටයුතු අවසන් කර වාර්තා සියල්ල උපදෙස් ලබා ගැනීම සඳහා නීතිපතිවරයා වෙත යොමුකර ඇති බව සඳහන් කර සිටියේය. නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බවත් ඒ අනුව නඩුව වෙනත් දිනයක කැඳවන ලෙස පොලිසිය අධිකරණය වෙතින් ඉල්ලා සිටියේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය පැමිණිල්ල නැවත පෙබරවාරි මස 27 වනදා කැඳවීමට නියම කළ අතර එදින නීතිපතිවරයාගේ උපදෙස් පිළිබඳව අධිකරණය දැනුවත් කරන ලෙස ද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට නියම කළාය. ඉකුත් රජය සමයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 15ක මුදලක් එන්.ආර්.කන්සල්ටන්සි නැමති සමාගමක ආයෝජනය කිරීම තුලින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුව ඇති බවට චෝදනා කරමින් ඉදිරිපත්වූ පැමිණිල්ලකට අනුව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් මෙම විමර්ශනය පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කර තිබේ. අධිකරණ වාර්තාකරු
 

More News..