brand logo

පා.ම. නාමල්ට විදෙස් ගතවීමට අවසර

26 November 2019

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස සේවය කරමින් අයථා ලෙස අත්පත් කරගන්නා ලද රුපියල් මිලියන 30 ක මුදලක් ගවර්ස් කෝපරේට් නැමති සමාගමක ආයෝජනය කර කොටස් මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට පෙබරවාරි මස 10 වනදා තෙක් විදේශීය ගත වීමට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ඊයේ(26) අවසර ලබා දුන්නේය. විත්තිකාර නාමල් රාජපක්ෂ මහතාගේ නීතිඥවරු ඉදිරිපත් කළ මෝසමකට අනුව මෙම නඩුව ඊයේ කැඳවනු ලැබීය. එහිදී නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාට විදේශ සංචාරයක නිරත වීමේ අවශ්‍යතාවක් මතුව තිබෙන බව සදහන් කළහ. තම සේවාදායකයාගේ විදේශ ගමන් තහනම් කරමින් අධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර නොමැති වුවත් ඔහුගේ විදේශ සංචාරය පිළිබඳව අධිකරණය දැනුවත් කිරීම සඳහා මෙම මෝසම ඉදිරිපත් කළ බවද විත්තියේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේය. කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා විත්තිකාර නාමල් රාජපක්ෂ මහතාට ලබන පෙබරවාරි මස 10 වනදා දක්වා විදේශගතවීම සඳහා අවසර ලබා දුන්නේය. එදින නඩුව විභාගයට ගන්නා බවත් ඒ සඳහා විත්තිකරු අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවද විනිසුරුවරයා විසින් වැඩිදුරටත් නියෝග කරන ලදී. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් අයථා ලෙස අත්පත් කරගන්නා ලද රුපියල් මිලියන 30ක මුදලක් ගවර්ස් කෝපරේට් නැමති සමාගමක ආයෝජනය කිරීම මගින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කොට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හයදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබේ. අධිකරණ වාර්තාකරු
 

More News..