brand logo

පා.ම. කාදර් මස්තාන්ගේ වාහනයට පහරදීමට උත්සහ කරලා - ගැටුමේදී මන්ත්‍රී ආරක්ෂක නිළධාරියෙකුට තුවාල

30 December 2019

පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් මහතා ගමන්ගත් රථවලට වවුනියාව ,උළුක්කුලම ප්‍රදේශයේදී කිසියම් පිරිසක් ඊයේ (29) රාත්‍රි‍යේ තියුණු ආයුධවලින් පහරදීමට උත්සහ කිරීමත් සමඟ ඇතිවූ ගැටුමකින් මන්ත්‍රී ආරක්ෂක නිළධාරියකු තුවාල ලබා ඇති බව වවුනියාව, ආරක්ෂක අංශ පවසයි. වවුනියාව ආරක්ෂක අංශ පැවසුවේ මන්ත්‍රීවරයා ප්‍රදේශයේ වැඩසටහනකට සහභාගීවී උළුක්කුලම , යුනිට් දෙක ප්‍රදේශයේ ගමන්කරමින් තිබියදී තියුණු ආයුධ රැගෙන රථපෙළ ඉදිරියට පැමිණි පිරිසක් පහරදීමට උත්සහ කර ඇති බවයි. අදාළ අවස්ථාවේදී රථවලින් බැස ඇති ආරක්ෂක නිලධාරීන් මන්ත්‍රී වරයාගේ ආරක්ෂාව සඳහා තියුණු ආයුධ රැගත් පිරිස ඉවත් කොට ඉදිරියට යාමට උත්සහ කිරීමේදී ගැටුම ඇතිවී ඇති අතර, එහිදී එක් ආරක්ෂක නිලධාරියකු තුවාල ලබා ඇති බවද ආරක්ෂක අංශ පැවසීය. තුවාල ලබා ඇත්තේ පොලිස් කොස්තාපල් 63077 සමරවීර නැමති පොලිස් නිලධාරියකු වන බව ආරක්ෂක අංශ පැවසීය. ආරක්ෂක අංශ පැවසූයේ පහරදීමට පැමිණි පුද්ගලයින් පොලිසිය අදාළ ස්ථානයට ළගා වන විට පලාගොස් ඇති අතර, පහරදීමට පැමිණි පුද්ගලයින් කවුරුන්ද යන්න හදුනාගෙන ඇති බවත් ඔවුන් අත්අඩංගුවටගැනීම සඳහා විශේෂ විමර්ශනයක් සිදුකරන බවත්ය. පහරදීම පුද්ගලික ආරවුලක් මත සිදුවූ සිද්ධියක් වන බවට පොලිසිය වෙත තොරතුරු ලැබී ඇති බව උළුක්කුලම පොලිසිය පැවසීය. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වවුනියාව උළුක්කුලම පොලිසිය පරීක්ෂණ මෙහෙයවයි. මාධව කුලසූරි - වවුනියාව
 

More News..