brand logo

පාසැල් 50 ක කෝඩිං ක්ලබ් ආරම්භ කරමින් කොමර්ෂල් බැංකුව STEMup ව්‍යාපෘතියට සහයෝගය ලබාදෙයි

10 August 2020

පාසල් දරුවන්ට උසස් පරිගණක ප්‍රෝග්‍රෑමින් දැනුමක් ලබාදීම සඳහා ‘කෝඩිං කල්බ්’ 100 ක් ආරම්භ කිරීමේ වැඩසටහන යටතේ එවැනි සමාජ 50 ක් මේ වන විට පාසල්වල ආරම්භ කර ඇතැයි කොමර්ෂල් බැංකුව නිවේදනය කර ඇත. STEMUp පදනමේ මෙහෙයුම වන්නේ සිසුන් විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු සහ ගණිතය (STEM) උපාධි සහ රැකියා ලබාගැනීම සඳහා උනන්දු කිරීමයි. ‘100 Schools, 100 Sessions’ නැමති මෙම වැඩසටහන මගින් මූලිකවම ඉලක්ක කර තිබෙන්නේ පාසල් සිසුන්ට පරිගණක ප්‍රෝග්‍රැමින්කරණය උගන්වා ඒ තුළින් නව්‍ය සහ ප්‍රයෝජනවත් අයැදුම් නිර්මාණය කිරීමට ඔවුන්ව උනන්දු කරවීමයි. මෙම වැඩසටහන යටතේ රජයේ ග්‍රාමීය පාසල්වලට පුහුණුකරුවන් ලබාදීම, පුහුණුකරුවන්ට සහ ස්වේච්ඡා සාමාජිකයන්ට පුහුණුව ලබාදීම, පාසල්වලට සහ පුහුණුකරුවන්ට අවශ්‍ය ‘Internet of Things’ (IoT) කට්ටල සහ අනිකුත් සම්පත් ලබාදීම, කේතකරණය භාවිත කරමින් සැබෑ ලෝකයට ප්‍රයෝජනවත් වන ඇප් නිර්මාණය කිරීම සඳහා කණ්ඩායම් ගොඩනැගීම සහ hackathons පැවැත්වීම සිදුකරයි. 2020 වසර අවසන් වීමට පෙර මෙම වැඩසටහන මගින් දිවයින පුරා විහිදුණු පාසල් 100 ක ‘කෝඩිං ක්ලබ්’ ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. දැනටමත් ‘කෝඩිං ක්ලබ්’ 50 ආරම්භ කර තිබෙන පාසල් අගලවත්ත, අලව්ව, ආනමඩුව, අතුරුගිරිය, බත්තරමුල්ල, බෝමිරිය, බෝපිටිය, බොරලැස්ගමුව, ඇඹිලිපිටිය, ඇඹුල්දෙණිය, ගාල්ල, ගිරිඋල්ල, හංවැල්ල, හෝමාගම, ඉහළගොඩ, මහනුවර, කට්ටිමහන, කටුගස්තොට, කොලොන්න, කොස්ගම, ලබ්බාල, මහෙන, මතුගම, මොරපිටිය, නවගත්තේගම, නුවරඑළිය, පාදුක්ක, පානදුර, පොල්ගහවෙල, රත්නපුර, වග, වරාවැව සහ යාපහුව යන ප්‍රදේශවල පිහිටා තිබෙන බව කොමර්ෂල් බැංකුව සඳහන් කරයි. රාජ්‍ය නොවන සංවිධානයක් වන STEMUp පදනම වෘත්තීය ආයතන සහ විශ්වවිද්‍යාල නියෝජනය කරන ස්වේච්ඡාවෙන් සම්බන්ධ වූ තරුණ පිරිසකගෙන් සමන්විත වේ. පරිගණක ප්‍රෝග්‍රැමින් හැකියාව වර්ධනය කරමින් ශ්‍රී ලංකාවේ සෑම දරුවකුම සවිබල ගැන්වීමේ අරමුණෙන් මෙම සංවිධානය කටයුතු කරයි.
 

More News..