brand logo

පාස්කු බෝම්බ නිසා සංචාරක ව්‍යාපාරයත් ‘කුඩු වෙයි’

11 May 2019

මුස්ලිම් අන්තවාදීන් එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් 2019 වසරේ දී අපේක්ෂා කළ විදේශීය සංචාරක ඇණවුම් සියයට 60 ත්, 80 ත් අතර ආසන්න ප්‍රමාණයකින් අවලංගු කිරීමෙන් රුපියල් කෝටි 48,000 කට ආසන්න මුදලක් ශ්‍රී ලංකාවේ ජාතික ආදායමට අහිමිවන බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. 2019 වසරේදී විදේශීය සංචාරකයන් ලක්ෂ 30කට ආසන්න ප්‍රමාණයක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කළ බව සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ සභාපති කිෂූ ගෝමස් ප්‍රකාශ කළේ ය. ත්‍රස්ත ප්‍රහාරයට පෙර මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් ව්‍යාපාති 30 කට දෛනිකව පැමිණි විදේශීය සංචාරකයන් ප්‍රමාණය 3500-4000 වූ අතර ප්‍රමාණයෙන් මේ වන විට පැමිණෙමින් සිටින්නේ විදේශීය සංචාරකයන් 200-300 අතර ප්‍රමාණයක් බව ප්‍රකාශ කළ මධ්‍යම සංස්කෘතික අරමුදලේ මූල්‍ය අංශයේ ප්‍රධානියකු ඒ හේතුවෙන් පසුගිය කාලය තුළ මධ්‍යම සංස්කෘතික අරමුදලට විදේශීය සංචාරකයන්ගෙන් මාසිකව ලැබුණු රුපියල් මිලියන 260 කට ආසන්න මුදලක් ඉදිරියේදී අහිමි වන බවද පැවසීය. ත්‍රස්ත ප්‍රහාරයට පෙර මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ පාලනය වන ලෝක උරුම සීගිරිය ව්‍යාපෘතිය සඳහා පමණක් විදේශීය සංචාරකයන් 1500-2200 ත් අතර ප්‍රමාණයක් පැමිණි අතර එම ප්‍රමාණය මේ වන විට 80-100 ත් අතර ප්‍රමාණයකින් අඩු වී ඇති බවත්, ප්‍රහාරයට පෙර සීගිරිය ව්‍යාපෘතියට ලැබුණු දෛනික ආදායම වූ ලක්ෂ 75 කට ආසන්න මුදල මේ වන විට රුපියල් ලක්ෂ 4 1/2 ක් දක්වා අඩු වී ඇති බවත් වාර්තා වේ. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී සංචාරක සංවර්ධන ඇමැති ජෝන් අමරතුංග මහතා ප්‍රකාශ කළේ දුෂ්කරතාවන්ට පත්වී සිටින සංචාරක ක්ෂේත්‍රයේ නියැළි පිරිස්වලට උපරිම සහාය ලබා දීම සඳහා පත් කර ඇති ඇමැති අනු කමිටුවේ යෝජනා ලැබුණු වහාම කටයුතු කරන බවයි. මෙරට විදේශීය සංචාරක ව්‍යාපාරය පැවති මට්ටමට ගෙන ඒම සඳහා සංචාරක සංවර්ධන අධිකාරිය සහ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, ජාත්‍යන්තර ප්‍රවර්ධන ව්‍යාපාරයක් සැලසුම් කොට ඇති බවද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය. රංජිත් ගුණවර්ධන
 

More News..