brand logo

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බදියුදීන් සහ හකීම්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට රහස් පොලිසිය සූදානම්

23 December 2019

පාස්කු ඉරුදින ජාතික තව්හිත් ජමාත් සංවිධානය විසින් දිවයිනේ ප්‍රදේශ කිහිපයක එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන වලට අදාළව හිටපු අමාත්‍යවරුන් වන රිෂාඩ් බදියුදීන් සහ රාවුෆ් හකීම් ඇතුළු කීප දෙනෙකු ගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගැනීමට අපේක්ෂා කරන බව රහස් පොලීසිය අද (23) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ දන්වා සිටියේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවනු ලැබ සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට අදාළ පැමිණිල්ල ඊයේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී රහස් පොලිසිය වෙනුවෙන් පෙනීසිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා මෙම දැනුම්දීම සිදු කළේය. වැඩිදුරටත් අධිකරණයක් හමුවේ කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා මෙම විමර්ශනයට අදාළව හිටපු ජනාධිපති, හිටපු අගමැති සහ වත්මන් කතානායක යන අයගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට සූදානම් වන බව තමා ඉකුත් නඩු දිනයේ අධිකරණය දැනුවත් කළ බව කියා සිටි බව සිහිපත් කළේය. " ස්වාමීනි, ඒ අනුව ප්‍රකාශ ලබා ගැනීම සඳහා දින ලබා දෙන මෙන් පොලිසිය හිටපු ජනාධිපති, හිටපු අගමැති සහ කතානායක වරයා වෙත දැනුම් දීම් සිදුකර තිබෙනවා. ඒත් ප්‍රකාශ ලබා දීම සඳහා ඔවුන් මේ දක්වා දින ලබාදී නැහැ. මෙම විමර්ශනය සාර්ථකව ඉදිරියට කරගෙන යාම සඳහා එම ප්‍රකාශ සටහන් කරගැනීම අත්‍යවශ්‍යයි. ස්වාමීනි, යම් පුද්ගලයෙකු මෙම විමර්ශනවලට අදාළව ප්‍රකාශ ලබා දීම හිතාමතාම ප්‍රමාද කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී අධිකරණ නියෝගයක් ලබාගැනීමට අපි අපේක්ෂා කරනවා. ඊට අමතරව මෙම විමර්ශනවලට අදාළව හිටපු අමාත්‍යවරුන් වන රිෂාඩ් බදියුදීන් සහ රවුෆ් හකීම් යන අයගේ ප්‍රකාශද ඉදිරියේදී සටහන් කරගැනීමට අපි සැලසුම් කර තිබෙනවා. නත්තල් උත්සවය අවසන් වීමෙන් පසුව කාදිනල්තුමා ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අපේක්ෂා කරනවා"යනුවෙන් ප්‍රකාශ කර සිටි රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා මෙම විමර්ශනයට අදාළව නියෝජ්‍ය පොලිස්පතිවරුන් තුන් දෙනෙකුගෙන් සහ අමාත්‍ය මණ්ඩල ලේකම් වරයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන බව දන්වා සිටියේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා සැකකාර හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන මහත්වරු ලබන 06 වනදා තෙක් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියම කළේය. එදින පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් ද මහේස්ත්‍රාත්වරයා විසින් රහස් පොලිසියට නියෝග කරන ලදී. (අධිකරණ වාර්තාකරු)
 

More News..