brand logo

පාස්කු ප්‍රහාරය ගැන කෙරෙන විමර්ශනයට හිටපු ජනපති, හිටපු අගමැති සහ කථානායකගෙන් සාක්ෂි ගන්න තවම දින නෑ

24 December 2019

පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බ ප්රහාර මාලාව සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන වලට අදාළව හිටපු අමාත්යවරුන් වන රිෂාඩ් බදියුදීන් සහ රාවුෆ් හකීම් ඇතුළු කීපදෙනෙකු ගෙන් ප්රශ්නකර ප්රකාශ සටහන් කරගැනීමට අපේක්ෂා කරන බව රහස් පොලිසිය ඊයේ (23 වැනිදා) කොළඹ අතිරේක මහෙස්ත්රාත් ප්රියන්ත ලියනගේ ඉදිරියේ දන්වා සිටියේය. සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවනු ලැබ සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර අදාළ පැමිණිල්ල ඊයේ කොළඹ අතිරේක මහෙස්ත්රාත් ප්රියන්ත ලියනගේ ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී රහස් පොලිසිය වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මෙම දැනුම්දීම කළේය. අධිකරණය හමුවේ වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්ය සොලිසිටර් ජනරාල්වරයා මෙම විමර්ශනයට අදාළව හිටපු ජනාධිපති, හිටපු අගමැති සහ වත්මන් කථානායක යන අයගෙන් ප්රකාශ සටහන් කර ගැනීමට සූදානම් වන බව, තමා ඉකුත් නඩු දිනයේ අධිකරණය දැනුවත් කළ බව සිහිපත් කළේ ය. " ස්වාමීනි, ඒ අනුව ප්රකාශ ලබා ගැනීම සඳහා දින ලබා දෙන මෙන් පොලිසිය හිටපු ජනාධිපති, හිටපු අගමැති සහ කථානායක වරයා වෙත දැනුම් දීම් සිදුකර තිබෙනවා. ඒත් ප්රකාශ ලබා දීම සඳහා ඔවුන් මේ දක්වා දින ලබා දී නැහැ. මෙම විමර්ශනය සාර්ථකව ඉදිරියට කරගෙන යාම සඳහා එම ප්රකාශ සටහන් කරගැනීම අත්යවශ්යයි. ස්වාමීනි, යම් පුද්ගලයෙකු මෙම විමර්ශනවලට අදාළව ප්රකාශ ලබා දීම හිතාමතාම ප්රමාද කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ඉදිරියේ දී අධිකරණ නියෝගයක් ලබා ගැනීමට අපි අපේක්ෂා කරනවා. ඊට අමතරව විමර්ශනවලට අදාළව හිටපු අමාත්යවරුන් වන රිෂාඩ් බදියුදීන් සහ රවුෆ් හකීම් යන අයගේ ප්රකාශ ද ඉදිරියේ දී සටහන් කරගැනීමට අපි සැලසුම් කර තිබෙනවා. නත්තල් උත්සවය අවසන් වීමෙන් පසුව කාදිනල්තුමාගෙන් ප්රකාශයක් ලබා ගැනීමට අපේක්ෂා කරනවා"යනුවෙන් ප්රකාශ කර සිටි රජයේ නියෝජ්ය සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස් විමර්ශනයට අදාළව නියෝජ්ය පොලිස්පතිවරුන් තුන් දෙනෙකුගෙන් සහ අමාත්ය මණ්ඩල ලේකම්වරයාගෙන්ද ප්රකාශ සටහන් කරගෙන තිබෙන බව දන්වා සිටියේ ය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහෙස්ත්රාත් ප්රියන්ත ලියනගේ මහතා සැකකාර හේමසිරි ප්රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන මහත්වරු ලබන 06 වැනිදා තෙක් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියම කළේ ය. එදින පරීක්ෂණවල ප්රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් ද මහෙස්ත්රාත්වරයා විසින් රහස් පොලිසියට නියෝග කරන ලදී. අධිකරණ වාර්තාකරු
 

More News..