brand logo

පාස්කු ප්‍රහාරයේ වගකීම භාරගන්නැයි හිටපු ජනාධිපති මට බලපෑම් කළා

25 September 2020

හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන, රාජ්‍ය බුද්ධි සේවයට පහසුකම් නැති බවට පාස්කු කොමිසම හමුවේ ප්‍රකාශ කළ නමුත් ආරක්ෂක අමාත්‍යාංශයෙන් විගණනයට ලක් කළ නොහැකි තරම් මුදල් රාජ්‍ය බුද්ධි සේවයට රහසිගතව යොදවා තිබුණේ යැයි හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති විමර්ශන කොමිසමේදී ඊයේ (24දා) පැවසීය. එසේම පාස්කු ප්‍රහාරය එල්ලවන විට හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේනගේ ක්‍රියාකලාපය හේතුවෙන් තමා දැඩි මානසික පීඩනයකට ලක්ව සිටි බවද ඔහු කොමිසම හමුවේ පැවසීය. තමාට පොලිස්පති ධුරයෙන් ඉවත්ව තානාපතිකමක් ලබා ගන්නා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කීප වතාවක් පැවසූ බවද, පාස්කු ප්‍රහාරයේ වගකීම තමාට භාරගන්නා ලෙසට බලපෑම් කළ බවද, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර කොමිසම හමුවේ පැවසීය. එසේම මලල්ගොඩ කමිටුව මගින් තමාව පාස්කු ප්‍රහාරයේ වරදකරු බවට පත්වන බවද හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන තමාට පැවසූ බව හිටපු පොලිස්පතිවරයා කියා සිටියේය. ඊයේ (24 වැනිදා) තෙවැනි දිනටත් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර කොමිසම හමුවේ සාක්ෂි දුන්නේය. අ. සො. ජනරාල්වරිය : 2016 වසරේදී අරලියගහ මන්දිරයේදී ආගමික අන්තවාදය සම්බන්ධයෙන් ඇමැති සාගල රත්නායක සහභාගි වූ රැස්වීමකට ඔබ සහභාගි වුණාද? පූජිත් ජයසුන්දර : විවිධ වර්ගයේ සාකච්ඡා පැවැත් වුණා. නිශ්චිතව ආගමික අන්තවාදී කටයුතු සම්බන්ධ රැස්වීමකට නම් ගියා කියන්න අමාරුයි. අ. සො. ජනරාල්වරිය : 2018 නොවැම්බර් 30 වෙනකොට මව්නතිව් පොලිසියේ නිලධාරින් දෙදෙනෙක් ඝාතනය කර තිබුණද? පූජිත් ජයසුන්දර : ඔව්. අ.සො. ජනරාල්වරිය : 2018 නොවැම්බර් 30 සිදු වූ මේ ඝාතනය ගැන 2018 දෙසැම්බර් 8 දා සති බුද්ධි වාර්තාවට ඇතුළත් වෙලා තියෙනවද? පූජිත් ජයසුන්දර : ඔව්. අ. සො. ජනරාල්වරිය : වව්නතිව් ඝාතනයට සම්බන්ධ පුද්ගලයන් එල්ටීටීඊයට සම්බන්ධ අය නොවේ කියලා කියන්නේ. පූජිත් ජයසුන්දර : එල්ටීටීඊයට සම්බන්ධ අය නොවෙයි, සහාරන්ට සම්බන්ධ අය මේ ඝාතනය කළ බව හෙළි වුණා. කොමිසම : 2018/12/29 රාජ්‍ය බුද්ධි සේවයෙන් ඔබට යවා ඇති සති බුද්ධි වාර්තාව පිළිබඳ අවධානය යොමු කරනවා. මෙහිදී හිටපු පොලිස්පති කොමිසම ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටියේ එවක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉස්ලාම් අන්තවාදය ගැන පරීක්ෂණ නොපවත්වන ලෙස දැනුම් දී තිබුණු බවයි. එහෙත් තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එම පරීක්ෂණ සිදු කරන ලෙස දැනුම් දුන් බවය. අ. සො. ජනරාල්වරිය : ඔබ කිව්වා සාක්ෂි දීමේදී ජනාධිපති අන්තවාදී කටයුතු සම්බන්ධයෙන් පරීක්ෂණ කරන්න එපා කියලා කියූ බව. එහෙම නම් ඔබ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙම නියෝග දුන්නේ එම නියෝගයට පටහැනිවද? පූජිත් ජයසුන්දර : ඔව්. මේක එක ප්‍රබල අවස්ථාවක්. මේ තත්ත්වය උඩ පොලිස්පති විදිහට ඉතාම අසරණ වුණා. කිසි කෙනෙක්ගෙන්වත් උපදෙස් ගන්නත් බෑ. කොමිසම : ‘කිසි කෙනෙක්’ කියන්නේ? පූජිත් ජයසුන්දර : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින්. ස්වාමීනි, නිශාන්ත සිල්වාගේ ස්ථාන මාරුවීම ගැන මට කතා කරන්න කෙනෙක් හිටියේ නැහැ. එක පාරටම කිව්වා ජනාධිපති මම එහෙම කිව්වේ නැහැ කියලා’’ මේවා තමයි තිබ්බ ප්‍රශ්න. කියපු දේ කිව්වේ නැහැ කියනවා. පොලිස් මලල ක්‍රීඩා උත්සවය ගැන කතා කරද්දී ජනාධිපති කිව්වා ‘‘මම බණ්ඩාරවෙල ඉන්නේ. මේක සෙකට්‍රි එක්ක කතා කරලා කරන්න කියලා. පොලිසියේ මලල ක්‍රීඩාඋත්සවය කියන්නේ නිලධාරින් 6000 ක් 7000 ක් සහභාගිවන එකක්. මේකට ලේකම්වරයා ඇවිත් වැඩේ කරගෙන යද්දී ලේකම්ට කෝල් එකක් ආවා. ඊට පස්සේ ජනපතිගෙන් මට කෝල් එකක් ආවා. ‘‘තමුසෙ කාගෙන් අහලද ඕයි ඔය කරන්නේ?’’ කියලා. තමුසෙට ඇමැති කෙනෙක් නැද්ද. මමනේ ඇමැති’’ කීවා. මම නිහඬව හිටියා. මම මඳකට නිහඬව ඉඳලා ‘‘සර් සමාවෙන්න මම සර්ට කිව්වනෙ’’ කියලා කිව්වා. ‘‘කෙහෙල්මල. මට ඒක කිව්වේ නෑ’’ කියලා ජනපති කිව්වා. මම පුදුමාකාර විදිහට මානසිකව වැටිලා හිටියේ. (සංවේදී ලෙස කියයි) ‘මොනවා කියලා මට බැන්නත්, වචනයක්වත් කතා කරන්න බැහැ කියන ස්ථාවරයේ මා සිටියේ. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ මට අවස්ථාවක් තිබුණා. දැන් කොමිසමේ අවස්ථාව තිබෙනවා. පාස්කු ප්‍රහාරය වූවායින් පස්සේ 9.15ට 9.30ට විවෘත ප්‍රකාශ රාජ්‍ය මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කළා. එතැනදී ජනපති කිව්වේ මම දන්නෙත් නැහැ, ආරක්ෂක ලේකම් මට කිව්වෙත් නැහැ කියලා. බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් මීට​ පෙර ඉතිහාසයේ පොලිස්පතිවරු ජනාධිපතිට වාර්තා කරලා නැහැ. ඇයි මේ චෝදනාවට මාව ලක් කළේ. බුද්ධි අංශ ගැන නිලන්ත සාක්ෂි දෙද්දී මම අහගෙන හිටියා. රාජ්‍ය බුද්ධි අංශයේ සියලු දෙනාට තිබෙන්නේ වැටුප්. අනෙක් දීමනා රහසිගත දීමනා හැටියට දෙනවා. ඒවා ඔඩිට් කරන්නත් බැහැ. බුද්ධි සම්බන්ධීකරණ රැස්වීමේදී ‘හිටපු අධ්‍යක්ෂ මටම කිව්වා සර් කෝල් එකක් ජනපතිගෙන් කියලා කිව්වා. කොහොමද එයා කියන්නේ ජනපති කතා කළේ නැහැ කියලා.? සභාපති විනිසුරු - ඔබ ප්‍රහාරය සම්බන්ධ තොරතුරු ගැන හිටපු රාජ්‍ය ආරක්ෂක ඇමැති දැනුවත් කළාද? පූජිත ජයසුන්දර - දැනුවත් කළේ නැහැ. ස්වාමීනි, හේතුවක් ඇතුව. ඔහුගේ ක්‍රියාකාරිත්වයක් නැහැ. එතුමාට අගෞරව කිරීමක් නෙමෙයි මේ. දේශපාලන ආරවුල්වල ප්‍රතිඵලයක්. මම කියන්නේ ආරක්ෂක ලේකම්ට. සභාපති - ඇයි කාදිනල් දැනුවත් කළේ නැත්තේ? හැකියාවක් තිබුණත්, කාදිනල්තුමා දැනුවත් කිරීමට තරම් එය ස්ථීර තොරතුරක් වුණේ නෑ. සභාපති විනිසුරු - අප්‍රේල් 20 වැනිදා ප්‍රහාරය ගැන රාජ්‍ය බුද්ධි අංශයෙන් කිව්වද? පූජිත් ජයසුන්දර - 20 වැනිදා පහට පමණ දුරකථන ඇමැතුමක් ආවා. විනාඩියයි තත්ත්පර 13කට මට දැනුම් දුන්නා. මෙහෙම තොරතුරක් තිබෙනවා කියලා. කලින් ආපු තොරතුරුද කියලා ඇහුවා. ඔව් කීවා. ඔයගොල්ලන්ගේ තොරතුරේ මොකක්ද තියෙන්නේ කියලා මම නිලන්තගෙන් ඇහුවා. එතකොට කිව්වා මේක අපේ තොරතුරක් නෙමෙයි කියලා. මේ ගැන ලිඛිතව හෝ වාචිකව දැනුම් දීමට රාජ්‍ය බුද්ධි අංශයේ අධ්‍යක්ෂවරයා කටයුතු කළේ නැහැ. මම කිව්වා අනෙක් නිලධාරීන්ට කියන්න ඔය තොරතුර ඔයානේ දන්නේ කියලා. මමත් කතා කරන්නම් කියලා කිව්වා. ඊට පස්​සේ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු කෝල් කරලා කිව්වා. එවකට ටෙලිකොම් ආයතනයේ සභාපති ලෙස හිටියේ හිටපු ජනපතිගේ එක කුස උපන් මල්ලි. මම මේවා කියන්න ඕන. මට දැන් ඕන දෙයක් කියන්න පුළුවන්. ඒ දවස්වල බුද්ධි අංශයේ නිලධාරීන් මගේ නිල නිවස ඉස්සරහ සක්මන් කරනවා. එහෙමයි පොලිස්පතිවරයා ආවේක්ෂණය කළේ. කෝල් ගන්නකොට ටෙලිෆෝන් ටැප් කරලා තිබ්බේ. පුදුම පීඩනයක් මට තිබුණා. කොමිසම - කාටද ඔබ ඇඟිල්ල දික්කරන්නේ? පූජිත් ජයසුන්දර - හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට පොලිස්පතිවරයා ලෙස මම ඉතාම පීඩාකාරී ලෙස විඳවලා තියෙනවා, මේ සිදුවීම් එක්ක. කොමිසම - ඔබට තානාපති තනතුරක් දෙන්නම් කියලා ජනාධිපති කිව්වද පොලිස්පති ධුරයෙන් ඉවත් වෙන්න කියලා. පූජිත් ජයසුන්දර - මට ගෙදර එන්න කියලා මම ගියා. ජනාධිපති මට කිව්වා මේ සිද්ධියේ වගකීම මට ගන්න බැහැ. මට පූජිත් මේක කිව්වේ නැහැ. ​හේමසිරි කිව්වෙත් නැහැ කියලා. උදෙත් ආරක්ෂක මණ්ඩලයේදීත් උඹ ඕක ගැන කිව්වේ නෑනේ කියලා ජනපති කිව්වා. මම නිහඬව සිටියා. මේකේ වගකීම පූජිත් බාරගන්න දැන්. මම විජිත් මලල්ගොඩ කමිටුව පිහිටුවනවා. අනිවාර්යයෙන් මේකෙත් වරදකරු වෙන්නේ පූජිත්. මේක පිළිඅරගෙන ඉල්ලා අස්වුණොත් තානාපතිකමක් දෙන්නම් කියලා ජනපති කිව්වා. ඔය කියන වචනවලින් තුන්වතාවක් කිව්වා. මම කිව්වා ඔබ කියන විදිහට මම පිළිගත්තොත් මම පොලිස් දෙපාර්තමේන්තුව පාවා දුන්නා වෙනවා. පොලිසියේ නිලධාරීන් අඩුපාඩු වුණාට රාජකාරි කළා. මගේ දුක්ගැනවිල්ල ඊට පස්සේ ජනපතිට කිව්වා. අවුරුදු 34 පොලිසියේ. සමහර පොලිස් නිලධාරීන් වගේ නෙමෙයි අත් පිරිසුදුයි කියලා. මගේ බිරිඳයි, දරුවො දෙන්නයි තමයි මෙහෙම වුණොත් දුක් විඳින්නේ කිව්වා. මට කියන්න තියෙන්නේ ඔච්චරයි. මට කරන්න දෙයක් නෑ කියලා ජනපති කිව්වා. උදය ආර්. සෙනෙවිරත්න මට කෝල් කරලා කිව්වා ඕක ගනින්. සමාව ගනින් කියලා. දැන් මට වර්තමාන ජනාධිපතිවරයා ආරක්ෂාව දීලා තියෙනවා. එතුමාට ආරංචි වෙන්න ඇති මට තර්ජන තිබෙන බව. පූජිත් ජයසුන්දර - දෙහිවල බෝම්බය හා ට්‍රොපිකල් ඉන් එකේ බෝම්බකරු කොහේද පුපුරවන්න හිටියේ. ඊට කලින් බෝම්බකරු කව්ද හම්බවුණේ කියලා අදාළ නිලධාරීන් ගෙන්වලා ඇහුවොත් කියයි. කොමිසම - දෙහිවල බෝම්බකරු ජමීල් වෙන කෙනෙක් හම්බුණේ කොහේදීද? පූජිත් ජයසුන්දර - නැවතිලා හිටපු තැනකට ඇවිත් හමුවෙනවා. බුද්ධි නිලධාරියෙක් මොකටද හමුවුණේ කියලා දන්නේ නැහැ. ප්‍රහාරය වෙන්න විනාඩි 45කට පෙර තමයි හමුවුණේ.
 

More News..