brand logo

පාස්කු ප්‍රහාරයේ කඳුළු මතක අතරේ කටුවාපිටියේ නත්තල් දේව මෙහෙයට ගියෙමි

29 December 2019

සීතල පිනි බිඳු වැටෙමින් තිබිණි. පැයකට දෙකකට පෙර වැටුණු වැසි පොදින් තෙත් වූ ගස්වැල්වලින් කුඩා ජල බිඳු රූරමින් පැවතියේ ය. මීට මාස කිහිපයකට පෙර අලුත් වැඩියා කර සිමෙන්ති ගල් ඔබ්බවන ලද බිම ද වැසි පොදින් තෙත්ව තිබිණි. පිනි බිඳු ද ඒ මත වැටී තව තවත් සිසිලසක් පරිසරයට එක් කරමින් තිබිණි. ඒ.... ඉකුත් 24 වැනිදා රාත්‍රිය ය. මුළු ලොවේම කිතුනු බතිමතුන්ගේ උතුම් දිනයක් වූ නත්තල් දිනයය. දිවයිනේ සියලු දේවස්ථානයන්හි රාත්‍රිය පුරා දේව මෙහෙයන් පැවත්වීමට සූදානමින් සිටි මීගමුවට නුදුරුව පිහිටි කටුවපිටිය දේවස්ථානයට එදින ඉතාමත් සුවිශේෂි දිනයක් විය. මන්ද මධ්‍යම රාත්‍රියේ පැවැත්වෙන නත්තල් දේවමෙහෙය සඳහා විශේෂ අමුත්තකුගේ සම්ප්‍රාප්තිය සිදුවීමට නියමිතව තිබූ බැවිනි. එහෙයින්ම විශාල පිරිසක් දේවස්ථානය කරා ඇදී එමින් සිටියේ මධ්‍යම රාත්‍රියටත් පැයකට දෙකකට ද කලින් සිටම ය. වෙනත් වසරවල නත්තල් දේවමෙහෙයක දී මෙන් නොව මෙවර දේවස්ථානය වටා සහ ඇතුළත ද දැඩි ආරක්ෂාවක් යොදා තිබිණි. පැමිණෙන සියලු බැතිමතුන් ප්‍රධාන පිවිසුම්වල දී දැඩි පරීක්ෂාවකට ලක් කෙරිණි. බැතිමතුන් දේවස්ථාන බිමට ඇතුළුවීමට පෙරම ඔවුන්ගේ අනන්‍යතාව පරීක්ෂාවට ලක් කරන ලදී. ඉන්පසු ගුවන් හමුදා නිලධාරීන් විසින් සියලු දෙනා ශරීර පරීක්ෂාවකට ලක් කරනු ලැබිණි. දේවස්ථාන භූමියට ඇතුළු විමට ඉඩ ලැබුණේ ඉන් අනතුරුව ය. භූමියේ ද තැනින් තැන ගුවන් හමුදා භට පිරිස් සේම පොලිස් නිලධාරින් ද දැකිය හැකි විය. ජනමාධ්‍ය නියෝජිතයෝ ද ඒ අතර වූහ. ප්‍රදේශයෙන් පිටත සිට දේවස්ථානයට පැමිණෙන්නකුට මෙම තත්ත්වය අමුත්තක් සේ දිස් විය හැකි වුවත් කටුවපිටිය ප්‍රදේශවාසීන්ට නම් එය කිසිසේත් කිසිදු අමුතු අත්දැකීමක් සේ දිස් නොවූයේය. පැමිණි බොහෝ පිරිස් අත ජාතික හැඳුනම්පත් තිබිණි. ශරීර පරීක්ෂාව සඳහා ද බැතිමතුන් යොමු වූයේ කිසිදු පැකිලීමකින් තොරවය. කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වා කිසිදු ආධුනික බවක් ප්‍රකට නොවිණි. ආරක්ෂක විධිවිධාන පිළිබඳ කිසිදු ආධුනික හැඟීමකින් ඔවුන් නොපෙළුෑයේ ඇයිදැයි ප්‍රශ්න කිරීමේ හෝ අවශ්‍යතාවක් නොවිණි. මන් ද ඉකුත් අප්‍රේල් මස 21 ප්‍රහාරයේ අමිහිරි අත්දැකීමෙන් මෙන්ම ඉන් පසු ඇතිවූ තත්ත්වයන් හමුවේ ඔවුහු හෙම්බත්ව සිටියහ. ප්‍රහාරයෙන් සැලකිය යුතු කාලයක් ගත වන තෙක්ම ඔවුහු මහමග පවා දැඩි පරීක්ෂාවන්ට ලක් වූහ. විශේෂයෙන් දේවස්ථානයට පැමිණීමට හැකි වූයේ ද දැඩි ප්‍රශ්න කීරීම් හා පරීක්ෂාවන්ට ලක් කිරීමෙන් පසුය. එහෙයින් මේ කරන පරීක්ෂා කිරීම්ද ඔවුන්ට එතරම් අලුත් දෙයක් වී නොතිබිණි. එහෙත් සිත් පාරවන දසුන් පෙළක් ප්‍රධාන පිවිසුම් අසල දී දැක ගැනීමට හැකි විය. දේවස්ථානය අසල මහාමර්ගයේ සිටම තවත් කාන්තාවකගේ උර මත හිස තබා හඬමින් පැමිණි මවක් ඒ අතර ප්‍රධාන විය. පාස්කු ප්‍රහාරයේ දී ඇයගේ දරු දෙදෙනාත් දයාබර සැමියාත් ඇය හැර ගොස් තිබිණි. ඇය දේව මෙහෙයට පැමිණෙමින් සිටියේ කිසිදා මැකී නොයන ඒ වේදනාත්මක ආවර්ජනය ද සමගිනි. සිය ආදරණීය බිරිඳ රෝද පුටුවක තබා තල්ලු කරගෙන පැමිණි පුද්ගලයෙක් මෙන්ම ආබාධිත යැයි සිතිය හැකි තවත් කිහිප දෙනෙක්ම දේවස්ථාන බිමට පැමිණියේ අතිශය හැඟුම්බර දෙනෙතින් යුතුවය. මීගමුවේ පෞද්ගලික රෝහලක ගිලන් රියක් ද බැතිමතුන් අතරින් දේවස්ථාන භූමියට ඇතුළුවිය. වැඩි පිරිසක් සුදෝ සුදුවුතින් සැරසී සිටිනු දක්නට ලැබිණි. සාමාන්‍යයෙන් බැතිමතුන්ට දේවස්ථානයන්හි අසුන් වෙන් කිරීමක් නැත. එහෙත් එදින අසුන් වෙන් කර තිබිණි. ඉදිරි පෙළ තිරස් අතට වන සේ පේළි තුනකට වෙන් කර තිබුණි. පළමු පේළිය පාස්කු ප්‍රහාරයෙන් දිවි පිදූවන්ගේ මවිපියවරුන්ට, සහෝදර සහෝදරියන්ට හා ඥාතීන්ටය. සෙසු පේළි දෙක ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් වෙනුවෙනි. සියලු දෙනාම සුදුවතින් සැරසී ඉතාමත් හඟුම්බර විලාසයකින් අප්ක්ෂා සහගතව සිටියහ. කටුවපිටිය දේවස්ථානය බැතිමතුන් පිළගන්නට වෙනදා මෙන් නොවූවත්, තරමකින් සරසා තිබිණි. නත්තල් ගසක් හා ගවලෙන ද ඒ අතර විය. වෙනදා මෙන් නොව මෙවර කිතු උපත සිහි කෙරෙන මධ්‍යම රාත්‍රිය දේවස්ථානයට මෙන්ම බැතිමතුන්ට ද සුවිශේෂී විය. මීට මාස අටකට පෙර එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු පැවැත්වෙන ප්‍රථම නත්තල් දේව මෙහෙය මෙන්ම එම දේව මෙහෙය පැවැත්වීම සඳහා ඉතිහාසයේ ප්‍රථම වරට මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ සපැමිණීම ඊට හේතු විය. කාදිනල් හිමියන්ට ද මෙවර නත්තල් දේව මෙහෙය විශේෂත්වයක් වී තිබිණි. කොළඹ අගරදගුරුවරයාට අයත් වන ආසන දෙව්මැදුරක් වෙයි. කාදිලන් හිමියන් වේවා වෙනත් අගරදගරුවරයකු වුව නත්තල් දේව මෙහෙය පවත්වන්නේ එම දෙව් මැදුරේ දීය. කොළඹ අගරදගුරුතුමන්ට අයත් වන ආසන දෙව් මැදුර පිහිටා ඇතතේ කොළඹ කොටහේනේ ය. එය සාන්ත ලුසියා ආසන දෙව්මැදුරය. මැල්කම් කාදිනල් හිමියන් කොළඹ අගරදගුරු පදවියට පත් වූ දා සිටම නත්තල් දේව මෙහෙය පැවැත්වූයේ එම දෙව්මැදුරේදීය. නත්තල් දේව මෙහෙය වෙනුවෙන් උන්වහන්සේ මෙවර කටුවපිටියට සාන්ත සෙබස්තියන් දෙව්මැදුරට පැමිණියේ මුල්වරට ය. දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ දේවස්ථාන භූමියට පැමිණි කාදිනල් හිමිපාණෝ රාත්‍රී 11.50ට පමණ දේවස්ථානයට සම්ප්‍රාප්ත වූහ. ඉදිරිපස දොරටුවෙන් ඇතුළු වූ උන්වහන්සේ හිස පහත් කර ගනිමින්ම දේවස්ථානයේ මැදින් තවත් පියතුමන්ලා සමගින් අල්තාරය දෙසට පිවිසියේ ඉතාමත් හැඟීම් බරවය. දේව මෙහෙය ආරම්භ කිරීම සඳහා අල්තාරයට පිවිසීමට පෙර උන්වහන්සේ ගරාදි වැට අසල සිටි රෝගීන් ආශිර්වාද කළහ. රෝද පුටු දෙකක මෙන්ම රෝහල් ඇඳන් දෙකක ද රෝගීහු සිව්දෙනෙක් සිටියහ. එක් ඇඳක් අසල සාත්තු සේවිකාවක ද වූවාය. සාත්තු සේවිකාව සිටියේ ගිලන් රියෙන් පැමිණි රෝගී කාන්තාව සමග ය. ඔවුන්ගේ හිස් අතගා ආශිර්වාද කළ කාදිනල් හිමියෝ අල්තාරයට පිවිසියහ. නත්තල උදාවන්නේ මධ්‍යම රාත්‍රි දොළහට ය. සියලුම දේවස්ථානයන්හි ප්‍රධාන දේවමෙහෙයන් ආරම්භ වන්නේ ද මධ්‍යම රාත්‍රි දොළහටය. දෙසැම්බර් මස 24 වැනිදා මධ්‍යම රාත්‍රිය යනු රතිඤ්ඤා හඬින් ගිගුම් දෙන මොහොතකි. ඇතැම් විට රතිඤ්ඤා හඬ අවසන් වනතෙක් දේව මෙහෙය නතර වන අවස්ථා ද දැකිය හැකි ය. එතරම්ම ගිගුම් දෙන මොහොතකි. එහෙත් මෙදින මධ්‍යම රාත්‍රිය එළඹුණු මොහොතේ හැඬුණේ දේවස්ථානයේ සීනුව පමණි. කටුවපිටිය ප්‍රදේශය දැඩි නිෂ්ශබ්දතාවක වෙළී සිටි අයුරක් හැඟිණි. අහස ගිගුම් දෙනු තබා අතරින් පතර හෝ රතිඤ්ඤා හඬක් ඇසුණේ නැත. පාස්කු ප්‍රහාරයේ වේදනාව විසින් බැතිමතුන්ගේ එම ක්‍රියාවන් යටපත් කරනු ලැබ තිබිණි. හරියටම මධ්‍යම රාත්‍රි දොළහට දේව මෙහෙය ආරම්භ කෙරිණි. ආරම්භයේ දී ම කාදිනල් හිමියන් ප්‍රකාශ කළේ ප්‍රහාරයෙන් ලද වේදනාකාරී අත්දැකීම තුනී කර ගන්නට දෙවියන්වහන්සේගේ ආදරය තුළ උත්සාහ කරමු යනුවෙනි. “ජීවිතය එහෙමයි. දුක වේදනාව ජීවිතයේ කොටසක්’‘ යැයි ද උන්වහන්සේ කීහ. සිය ප්‍රධාන දේශනයේ දී ද කාදිනල් හිමියන් ප්‍රකාශ කර සිටියේ ප්‍රහාරය පිළිබඳවය. “මෙවර නත්තල් දේව මෙහෙය පවත්වන්නට කටුවපිටිය තෝරා ගත්තේ හිතාමතාමයි. පසුගිය අප්‍රේල් ප්‍රහාරයෙන් පසු කටුවපිටියෙ අපේ වැටීම බරපතළ ලෙස දැනුණා. අපේ ජීවිත කඩා වැටුණ තැනක් බවට පත්වුණා. ඒ නිසා ඒ අත්දැකීම ඔබ සමග ළඟින්ම බෙදා ගත් කෙනෙක් ලෙස අදත් මම ආවේ ඔබත් සමග මේ හෝරා දෙක ගත කරන්නටයි. ඔබ තනි නොවූ බව කියන්නටයි. ජීවිතයේ යථාර්ථය මෙයයි. ඉවසීම දරා ගැනීමට සිදු වෙනවා. අපි කැමතියි සතුටින් ඉන්න. නමුත් ජීවිතයට මුහුණ දිය යුතුයි. දුක් විඳීමක් නැතිව ආත්මාර්ථයෙන් එළියට එන්න හැකියාවක් නැහැ. ආත්මාර්ථය පරාජය කිරිමට නම් අපිට දුක් විඳින්නට සිදු වෙනවා. අපේ ජීවිතයට අන් අය ගැන ආදරය දැනෙන්නේ දුකක් වේදනාවක් විඳ ඇත්නම් පමණයි. දුක් කරදර මතින් අපි ගමන් කළ යුතුයි. ජේසුස් වහන්සේගේ කුරුසියේ අර්ථය නම් දුක් විඳීමෙන් ජයග්‍රහණය කිරීමයි. කටුවපිටිය කියන්නේ ව්‍යසනයක ස්මාරකයක් නෙමෙයි. පීඩා ආවත් ඉවසීම දරා ගැනීම ලෝකයටම ඉගැන් වූ තැනක්. ඒ පීඩාව ඉවසා දරා නොගත්තා නම් මුළු ලංකාව ලේ විලක් වන බව බොහෝ දෙනා කියනවා. ‘‘මෙලෙස සිය දේශනාව කරගෙන යන අතරතුර දී “කඳුළු අතරින් සිනාසෙන්නට ඔබට පුළුවන්” යැයි උන්වහන්සේ ප්‍රකාශ කළේ හඬමිනි. එම මොහොත දේවස්ථානයේ සිටි ප්‍රහාරයෙන් පීඩිතව හුන් බැතිමතුන්ගේ පමණක් නොව සියල්ලන්ගේ නෙත් කෙවෙණි බොඳ කළේය. කාදිනල් හිමියන්ගේ දේශනාව ශ්‍රවනය කරමින් සිටි ඇතැම් බැතිමතුන් සිය නෙත්වලින් කඩා හැලෙන කඳුළු පිසිමින් සිටින අයුරු දක්නට ලැබිණි. පාස්කු ප්‍රහාරයෙන් ඉරි තැළුණු දේවස්ථානයේ ඇතුළත බිමේ කොටසක් හා ප්‍රහාරයෙන් විනාශයට පත් බිත්තියක කොටසක් ඉතිරි වනසේ ප්‍රතිසංස්කරණ කටයුතු කර තිබිණි. ප්‍රහාරයෙන් දේවස්ථනයේ වූ සුරුවමක් සම්පූර්ණයෙන් විනාශව තිබූ අතර එම ස්ථානයේ සුරුවමක් නොතබා හිස්ව තිබිණි. එම ස්ථානය හා පොළොවේ දෙදරූ ස්ථානය වීදුරු ආවරණය කර සුරක්ෂිත කර තිබිණි. ඒ මත වසර ගණනකට ප්‍රහාරයේ මතකය නොමැකී දේවස්ථානයේ පවතිනු ඇත. කටුවපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානයේ මෙවර නත්තල් දේව මෙහෙය සැබවින්ම සීතල අත්දැකීමකි. මිථ්‍යා මතයක් මුල් කර ගත් උත්තුංග විමුක්ති වේශයෙන් ක්‍රියාත්මක වුණු ම්ලේච්ඡ, සැහැසි ක්‍රියාවලියක ශේෂයන් නෙත් මානයේ දිස් වෙමින් ජීවිතය ගැන අලුතින් සිතන්නට ඇරයුම් කළේය. වැදගත් වන්නේ කිතු සමිඳුන්ගේ ඒ ප්‍රේමය වෙනුවෙන් වන ඇරයුම පිළිගන්නා ආකාරය සහ ඒ අනුව ජීවත් වීමය. නිලන්ත මදුරාවල ඡායාරූප - සමන් අබේසිරිවර්ධන
 

More News..