brand logo

පාස්කු ප්‍රහාරයේදී ලිහිල්ව වැඩ කළේ මා නොවෙයි කොමිසමයි

27 February 2021

පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල වූයේ රනිල් වික්‍රමසිංහ අගමැති පුටුවේ සිටි යුගයේදීය. ඒ ප්‍රහාරය ගැන සොයා බැලීමට පත් කළ ජනපති කොමිසමෙන් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන ඇතුළු පිරිසට අපරාධ නඩු පවරන්නට නිර්දේශ කළද රනිල්ට එවැනි චෝදනාවක් එල්ල නොවීය. එහෙත් වසර 43 ක් අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කළ ඔහු ගිය මහ මැතිවරණයේදී ගෙදර ගියේ එජාප ඉතිහාසයේ මුහුණ දුන් දරුණුතම පරාජයට මුහුණදෙමිනි. පාස්කු ප්‍රහාරයද එම පරාජයට බලපෑවේය. ජය මෙන්ම පරාජයද එක සිතින් විඳ දරා ගන්නා නායකයකු ලෙස ප්‍රකට රනිල් දැන් කරන්නේ මොනවාද. ඒ ගැන දැනගැනීමට අපි කොල්ලුපිටියේ පස්වැනි පටුමගේ පිහිටි ඔහුගේ නිවසට ගියෙමු. මහ මැතිවරණයෙන් පස්සේ ඔබ ​බොහොම නිහඬයි. දැන් මොකද කරන්නේ... මම නිහඬ නැහැ. නිවසට වෙලා ඉන්දු - පැසිපික් කලාපයේ දේශපාලනය, ආර්ථිකය ගැන පොතක් ලියනවා. නමුත් ඔබ වසර හතළිස්තුනක් අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කරමින් දේශපාලනය කළ අයෙක්... මම දැන් වෙන දේ බලාගෙන ඉන්නවා. අලුත් දේශපාලනයකට මේ රට යන්නේ. ඒ දිහා පිටින් ඉඳන් බලන එකත් හොඳයි. සාම්ප්‍රදායික පක්ෂ, ජනතාව ප්‍රතික්ෂේප කර තිබෙනවා. සංවිධාන දියවෙලා. පාර්ලිමේන්තු දේශපාලනයට සම්බන්ධ නොවුණ පුද්ගලයෙක් ජනාධිපති කරලා තියෙනවා. අලුත් දෙයක් බහුතරයක් බලාපො​රොත්තු වුණා. එම අලුත් දේ සිදු වෙනවාද, ප්‍රශ්නවලට විසඳුම් තියෙනවාද, අනාගතය තියෙනවාද කියා බලාගෙන ඉන්නවා. ප්‍රශ්න පැනනැගිලා තියෙන්නේ. අලුත් දේශපාලනයේ සිදුවෙන්නේ මොකක්ද කියා බලාගෙන ඉන්නේ. ඔබ කියන්නේ වත්මන් රජය ජනතාවට එපා වෙලා කියලද? දැනට ජනාධිපතිතුමා විවිධ පාර්ශ්ව විවේචනය කරනවා. ඒවා මොන විදිහට විසඳෙයිද කියලා අනාගතය අපට කියන්න බැහැ. විවේචනයෙන් ඈත් වෙයිද? විවේචන වැඩිවෙයිද කියලා. මෙතෙක් කල් එක පක්ෂයක් බලයට පත්ව ආණ්ඩුව කරගෙන යාමේදී විවේචනවලට ලක්ව වෙනත් පක්ෂයක් බලයට පත්වෙනවා. ‘‘පොහොට්ටුව’’ කීවට එතැන සංවිධානයක් නැහැ. එක්සත් ජාතික පක්ෂයේ සංවිධානගතව නැහැ. කොටසක් සමගි බලවේගයට එකතු වුණා. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී ධුර අඩු වෙලා. දෙමළ ජාතික සන්ධානයේ අභ්‍යන්තර ගැටුම් තියෙනවා. පෙර තිබූ පක්ෂ සංවිධානත් නැහැ. අපි පරිවර්තන යුගයක ඉන්නේ. අලුත් පක්ෂ එනවද, පරණ පක්ෂවලට යනවාද? එම නිසාද පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේදී තරුණයන්ට අවස්ථාව දුන්නේ... පක්ෂයක් ප්‍රතිසංවිධානය කර බලය ගන්න වසර කිහිපයක් කටයුතු කළ යුතුයි. මෙවර පක්ෂ ප්‍රතිසංවිධානයට තරුණයන්ට අවස්ථාව දුන්නා. ජේ.අර්.ජයවර්ධන මහතාද 1972 දී පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේදී තරුණයන්ට අවස්ථාව දුන්නා. ප්‍රේමදාස, ගාමිණී මට තමයි වගකීම් දුන්නේ. අපි එතකොට තරුණයන්. අපේ රටේ ඡන්දදායකයින්ගෙන් බහුතරය වයස අවුරුදු පනහට අඩු අයයි. අලුත් සිතුම් පැතුම් තිබෙන අන්තර්ජාලය සමග ගනුදෙනු කරන, තරුණ පිිරිසක් ඉන්නේ. සාම්ප්‍රදායික දේශපාලනය වෙනස් විය යුතුයි. ඇමෙරිකාවේ ද දැන් සාම්ප්‍රදායික දේශපාලනේ ක්‍රියාත්මක වෙන්නේ. ලංකාවෙත් ඔය ප්‍රශ්නය තියෙනවා. එක්සත් ජාතික පක්ෂය 2024 බලය ගැනීමට සූදානම්ද? පක්ෂයක් තියෙන්නේ බලය ගන්නනේ බලමු. නමුත් පක්ෂයට හිමි වූ එකම මන්ත්‍රීධුරයවත් පුරවන්න බැරි වුණානේ. සමහරු කියනවා මට යන්න කියලා. මම තරුණ නායකයන්ට දැනුම් දීලා තියෙනවා කතා කරලා මන්ත්‍රීධුරය සම්බන්ධ යෝජනා ඉදිරිපත් කරන්න කියලා. දැනට පක්ෂයේ බිම් මට්ටමේ සංවිධාන කටයුතු කරනවා. එම ප්‍රතිසංවිධාන කටයුතු සාර්ථකද? පළමු වටයේදී තරුණ නායකයන් ගම් මට්ටමේ යනවා. පාක්ෂිකයන් දැනුවත් කරමින්. ඉන්පසු පක්ෂයට පාක්ෂිකයන් බඳවා ගන්නවා. සියලුදෙනාම එකතු කරගෙන ගමන යනවා. පසුගිය දිනවල සමගි බලවේගයේ මන්ත්‍රීවරු, විපක්ෂ නායකවරයා, ඔබ හමුවුණේ ඇයි? දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිෂන් සභා වාර්තාව ගැන කතා කරන්න තමයි ඒ අය ආවේ. මේ ගැන මම සෑම පක්ෂයක් සමගම කතා කළා. රජයේ සේවකයන් සමගත් කතා කළා. පරණ සගයෝ ඔබ සමග දේශපාලනය කතා කළේ නැද්ද? කිසිම දෙයක් කතා කළේ නැහැ. සමහරු මම හම්බවෙන්න එනවා යනවා. මම පාර්ලිමේන්තු යනවද කියලා අහනවා. දේශපාලන පළිගැනීම් කොමිෂන් සභා වාර්තාවට අනුව ඔබෙත් ප්‍රජා අයිතිය අහෝසි වෙයිද? ඒ කොමිසමට ඕන කෙනෙක්ගේ නම දාන්න පුළුවන්. මෙහි තියෙන බරපතළකම තමයි අධිකරණයට කියනවා මොකක්ද කරන්න ඕනි කියලා. අධිකරණයට මැදිහත් වන එක කොමිසමකට කරන්න බැහැ. නීතිපති ක්‍රියා කරන්නේ ආණ්ඩුවේ සේවකයෙක් ලෙස නොවෙයි. ඔහු නීතිය අනුව කටයුතු කළ යුතුයි. අධිකරණයටයි නීතිපතිටයි ගහනවා කියන්නේ යුක්තිය පසිඳලීමට බාධාවක්. මෙම වාර්තාවේ මගේ පමණක් නොවේ සෑම පක්ෂයකම නායකයන්ගේ නම් තියෙනවා. ඊට මුහුණ දීමට පුළුල් පෙරමුණක් හදන්න යනවාද? ඒ ගැන කතා කරගෙන යනවා. වෙන වෙනම හරි පක්ෂ මේ ගැන කතා කරනවනේ. කොවිඩ් පාලනය, එන්නත්කරණය ගැන ඔබ මුල සිටම අදහස් පළ කළා. ඔබ හිතන විදියට දැන් රජය සිදු කරන මෙම වැඩපිළිවෙළ සාර්ථකද? කොවිඩ් පාලනය හා එන්නත්කරණ වැඩපිළිවෙළ අසාර්ථකයි. කඩාවැටිලා තියෙන්නේ ලෝකය දිහා බලලා අපි තීන්දු තීරණ ගත යුතුයි. නොවැම්බර් මාසයේ ප්‍රකාශ කළා එන්නත ගන්නවා කියලා. අද වෙනකම් මිල දී අරගෙන නැහැ. බලාපොරොත්තු වෙන්නේ කොවෙක්ස් යාන්ත්‍රණයෙන් දෙන එන්නත් තොගය ගන්න. ලබන අවුරුද්ද විතර වෙයි එන්නත්කරණය අවසන් කරන්න. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ක්‍රමවේදය අනුව නොවෙයි ශ්‍රී ලංකාව ක්‍රියා කරන්නේ. ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. මම ප්‍රකාශ කළා. නමුත් රජය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හරියට කළා නම් එන්නත්කරණය මෙම වසරේදී නිම කරන්න පුළුවන්. එන්නත් ගන්න මුදල් අවශ්‍යයි. රට තිබෙන්නේ මුල්‍ය අර්බුදයකනේ? මුදල් සොයාගත යුතුයි. අපේ රජය කාලයෙත් මූල්‍ය ප්‍රශ්න විසඳුවා. ජනතාවට සහනත් දුන්නා. මේ ප්‍රශ්නය ඇතිකර ගත් එකක්. ආදායම අඩු කරගෙන තමයි ප්‍රශ්නය ඇති වුණේ. ඊළඟට කොවිඩ් වසංගතයෙන් එන ප්‍රශ්නවලට මුහුණ දෙන්න බැරි වුණා. තමන් ඇති කර ගත්තා නම් ප්‍රශ්නයක් ඊට තමන් වගකියන්න ඕනි. වෙන අයට දොස් කියලා වැඩක් නැහැ. රජයක් කරගෙන යන කොට මුදල් තියෙන්න ඕනි. අපි රජය භාරදෙනකොට ණය ප්‍රශ්නය විසඳන්න කටයුතු කරමින් තිබුණේ. අපට කොච්චර බැන්නත් මේ රජය කළේ කකුලට වෙඩි තියා ගත්තා වගේ වැඩක්. රජය ඉස්සෙල්ලාම ආර්ථිකය හදාගත යුතුයි. නමුත් ඔබ ඇතුළු එජාපයත් ආර්ථිකය විනාශ කරා කියලා චෝදනා එල්ල වෙනවා සමහරු මට බැන්නා. නමුත් මම ජනතාවට වේලාවට කන්න දුන්නා. බඩගින්නේ තිබ්බෙ නැහැ. සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කළා. සෞඛ්‍ය සේවාව අපි දියුණු කළේ නැත්නම් රට කොහොමද මෙම වසංගතයට මුහුණ දෙන්නේ. ගිලන්රථ සේවාව, හදිසි අනතුරු සේවා අපේ රජයේ විධිමත් කිරීමේ ප්‍රතිලාභ වත්මන් රජය හා ජනතාව දැන් භුක්ති විඳිනවා. ගමට ගිහින් කියන්න බැහැ මුදල් නැහැ කියලා. අපි කොහොමද කියන්නේ ශ්‍රේෂ්ඨ ජාතියක් කියලා. ඔබ ගිය සතියේ බෙන්තොටදී අගමැතිතුමා හමු වුණාද? ඔව්, එය සුහද හමුවක්. කාලයක් මගෙන් හම්බවෙමු කියලා කියා තිබුණා. අනෙක් අයට අගමැතිතුමා පාර්ලිමේන්තුවේදී හම්බවෙන්න පුළුවන්. මම එහිදී ආර්ථිකය ගැන කතා කළා. එයා මුදල් ඇමැතිනේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් වාර්තාවෙන් ඔබ ඇතුළු එක්සත් ජාතික පක්ෂ ඇමැතිවරුන්ට චෝදනා නැත්තේ ඇයි? මෙවැනි ප්‍රහාරයක් එල්ල වන බව අපට දැනුම් දීලා තිබුණේ නැහැ. ඒ නිසා මේ චෝදනාවලට අපිව සම්බන්ධ කරන්න බැහැ. ප්‍රහාරය එල්ල වූ පසුව තමයි අපි දන්නේ. ඒ මොහොතේ මම ආරක්ෂක අමාත්‍යාංශයට ගොස් ත්‍රස්තවාදයට විරුද්ධව පියවර ගත්තා. මම ජනාධිපතිවරයාට කතා කරල කීවා පොලිස් ඇඳිරිනීතිය දාන්න වෙයි කියලා. එතුමා එකඟ වුණා. එවිටත් වාදයක් ඇති වුණා. මම නීතිපතිවරයා කැඳවා පොලිසියට හමුදාවට අවශ්‍ය නීතිමය තත්ත්වය පැහැදිලි කළා. මොකද නිලධාරීන් බයේ හිටියා දැන් නීතිය ක්‍රියාත්මක කරල පසුව නඩු වැටෙයි කියලා. නීතිපති උපදෙස් මත තමයි පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන්නේ. උදේ බෝම්බ පිපිරුණේ. රාත්‍රි නවය වන විට පළමු සැකකරුවන් සොයා ගත්තා. ලංකාව වේගයෙන් සැකකරුවන් සොයා ගත් බව විදේශීය පරීක්ෂකයන් පවා මට ප්‍රකාශ කළා. නැති නම් දවස් පහකට වැඩිය යනවා කීවා. මේ ප්‍රහාරය ගැන ඉන්දීය බුද්ධි අංශ කල් තියා තොරතුරු දුන්නේ? ඔව්. ඉන්දියාව තොරතුරු දුන්නා. නමුත් ගන්න පියවර ගැන ප්‍රශ්නයක් තියෙනවා. ඒ පිළිබඳව කොමිෂන් සභාවෙන් තීරණයක් දීලා තියෙනවා. නමුත් මම වාර්තාව දැක්කෙ නැති නිසා වැඩිපුර මොකුත් කියන්න බැහැ. බුද්ධි අංශ වාර්තා ගැන කාටද කීවේ. එතන පරස්පර විරෝධී සාක්ෂි තිබුණා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඔබතුමාට කිසිදු වාර්තාවක් ලැබුණෙ නැද්ද? තර්ජනයක් දැනුම් දුන්නෙ නැහැ. ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස රුවන් විජයවර්ධන හෝ ඔබ දැනුවත් කළේ නැද්ද? එයා දන්නෙත් නැහැ. මම හම්බ වුණා වෙලාවේ ඇහුවාම එයා දන්නෙ නැහැ කීවා. අඩුම තරමේ වැඩ බලන රාජ්‍ය ආරක්ෂක අමාත්‍යධුරය පවා ඔහුට දීලා තිබුණේ නැහැ. රුවන්ව දැනුවත් කර තිබුණේ නැහැ. ඔබ මෙම කොමිෂන් සභා වාර්තාව පිළිගන්නවද? මෙය අසම්පූර්ණ වාර්තාවක්. මොකද සහරාන්ලා ගැන මොකුත් කියන්නෙ නැහැ. බුද්ධි අංශයට කීවා කියනවා. තව කෙනෙක් කියනවා කීවේ නැහැ කියලා. පාර්ලිමේන්තු ​තේරීම් කාරක සභාවේදීත් කතා කළා. සොයා බලන්න කියා නිර්දේශ කළා. ඒක හොයා ගත්ත කියල ප්‍රශ්නය විසඳෙන්නෙ නැහැ. ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළේ මොකක්ද වුණේ. හොයල බලන්න ඕන. කවුද සහරාන්. කවුද උදව් කළේ. ඒ කිසිවක් මෙම කොමිසමෙන් සොයාගෙන නැහැ. සහරාන්ට උදව් කළ අය ගැන ඔබ කොමිෂන් සභාවට කරුණු ඉදිරිපත් කළේ නැද්ද? දෙමටගොඩ තරුණ සහෝදරයන් දෙදෙනාට බළඇණියක් වුණත් පවත්වා ගෙන යන්න සල්ලි තියෙන්න ඇති. සහරාන්ට තිබුණා ටී 56 වර්ගයේ ගිනි අවි දෙකක්. එය එල්.ටී.ටී.ඊ. එකෙන් ලැබෙන්න ඇති කියලා කියනවා. නමුත් සහරාන් එල්.ටී.ටී.ඊ. එකත් එක්ක වැඩ කළේ නැහැ. යුද්ධය ඉවර වීමට ප්‍රථම නැගෙනහිර තිබූ එල්.ටී.ටී.ඊ. ගිනි අවි හමුදා භාරයට ගත්තා. යහපාලන කාලයේත් උතුරේ ගිනි අවි සෙව්වා. නැගෙනහිරත් කළා විශාල ගිනි අවි නැහැ කීවා. එල්.ටී.ටී.ඊ. යන කොට ටී 56 ගිනි අවි පාරේ දාලා ගියේ නැහැනේ. සහරාන්ලා ආරක්ෂක අංශ එක්ක වැඩ කළේ. සහරාන්ලාට ටී 56 තියා ගන්න බැහැ. ආරක්ෂක අංශය නොදැන. අන්න ඒ ගැන කොමිෂන් සභාව විමර්ශනය කරලා නැහැ. ඒ ගැනත් විමර්ශනය කළොත් හරිම විසඳුම ගන්න පුළුවන්. එතැන හිටියා නවුෆර් මවුලවි කියලා කෙනෙක්. එයා ගැන ​කොමිසම කතා කරලා නැහැ. නිදහස් උත්සවයට හා දළදා මාලිගාවට පහර දෙනවා කියා එයා ප්‍රකාශ කර තිබුණා. කොහොමද වෙනස් වෙලා ඇවිල්ලා පල්ලිවලට ගැහුවේ. කවුද සැලසුම වෙනස් කළේ. අබ්දුල් රාසික්, සිලොන් තවුහිත් ජමාත් සංවිධානය. තවුහිත් ජමාත් ගැන කතා කළත් අබ්දුල් රාසික්ගේ සංවිධානය ගැන කවුරුත් කතා කළේ නැහැ. බොදු බළ සේනාව කියා නම් කළත් මෙම සංවිධානය ගැන කියන්නේ නැහැ. එය ප්‍රශ්නයක්. ආරක්ෂක අංශයේ සම්බන්ධය හොයන්න තිබුණා. ඔබේ අදහස හැටියට කොමිෂන් සභාව ඇයි එවැනි විමර්ශනයක් නොකළේ.? කොමිෂන් සභාවට බලතළ දීල තිබුණේ සහරාන් මෙහෙය වූයේ කවුද? පිටුපස සිටි බලවේගය කවුද කියලා හොයන්න. අසම්පූර්ණ වාර්තාවක් කියා මම කියන්නෙ ඒකයි. ප්‍රහාරය එල්ල වූ දින කොළඹ කළ දේවල්, රජය ගත් පියවර කිසිවක් වාර්තාවේ නැහැ. අසම්පූර්ණ වාර්තාවක් ඉදිරියට ගෙනියන්න බැහැ. කවුරුවත් මෙම වාර්තාවෙන් සෑහීමකට පත් වෙන්නෙ නැහැ. ඔබ කියන පරිදි රජය කොළඹ සිට ගත් පියවර මොනවාද? මම ආරක්ෂක මණ්ඩලය කැඳවූවා. පියවර ගන්න සුදුසුම තැන ආරක්ෂක අමාත්‍යාංශය. අරලියගහ මන්දිරය නෙවෙයි. නමුත් හමුදාපතිවරු ඉහළින් ආපු නියෝගයකින් ආවේ නැහැ. එම නිසා ආරක්ෂක අමාත්‍යාංශයේ සිට සියලු කටයුතු මෙහෙයවූවා. මෛත්‍රීපාල සිරිසේන පත් කළ ජනපති කොමිෂන් සභාව අන්තිමේදී ඔහුටම පාරාවළල්ලක් වී තිබෙනවා නේද? මම හිටපු ජනාධිපතිතුමා හමු වුණා. පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් පැවැත්වූ රාත්‍රි භෝජන සංග්‍රහයේදී. කොමිෂන් සභා වාර්තාව ලබාගෙන නීතිමය පසුබිම බලනවා කියා හිටපු ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. ගත යුතු පියවර ඉන් පසු ගනියි. පොලිස්පතිවරයා, රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා පත් කළේ ඔබේ රජයයි. ව්‍යවස්ථාදායක සභාවයි. මේ නිලධාරීන්ට චෝදනා එල්ල කර තිබෙනවා. ඒ ගැන මොකද අදහස? බුද්ධි අංශ ප්‍රධානියා ව්‍යවස්ථාදායක සභාවෙන් පත් කළේ නැහැ. පොලිස්පතිතුමා පත් කළා. ඔහුගේ අඩුපාඩු කම් තිබුණා නම් ක්‍රියා කරන්න වෙනවා. කොමිෂන් සභාව වාර්තාව නිවැරැදි පරිදි සම්පූර්ණයෙන් ඉදිරිපත් කරලා නැහැ. ඔබ ඇතුළු රජය ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කළ නිසා අන්තවාදය පෝෂණය වූ බව වාර්තාවෙන් කියවෙනවා. ඔබ අන්තවාදයට උදව් කළාද? ආගමික අන්තවාදය නතර කිරීමේ ඒකකයක් මම ආරම්භ කළා. නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා මාර්ගයෙන්. ප්‍රතිත්‍රස්තවාදී කෙටුම්පත මම සකස් කළා. ලිහිල් භාවය තියෙන්නෙ මගේ නෙවෙයි. කොමිෂන් සභාව විමර්ශන කිරීමේදී ලිහිල් අයුරින් කටයුතු කර තිබෙනවා. ඉන්දියාවෙන් ලැබුණු තොරතුරු දන්නවද කියල විතරයි හෙව්වේ. පිටු පස කතාව ගැන විමර්ශන කළේ නැහැ. ඒ චෝදනාව මට නෙවෙයි එල්ල විය යුත්තේ. කොමිසමටයි. අපි ඩීල් දැම්ම නම්, මුදල් දුන්නා නම් කරුණු හෙළි කළ යුතුයි. කොමිසමේ සාක්ෂි විමසීමේදී ඔබගෙන් මේ ගැන විමසුවේ නැද්ද? කොමිෂන් සභාව අහපු දේවල් නෙවෙයි වෙන ​ඒවා තමයි ලියල තියෙන්නේ. ඒකයි මම කියන්නෙ ලිහිල්භාවය තියෙන්නෙ මගෙද කොමිසමේද කියලා. රටම බලාපොරොත්තු වුණේ මෙවැනි වාර්තාවක් නෙවෙයි. සංහිඳියාව ඇති කිරීමට යහපාලන රජය කටයුතු කිරීමේදී ලිහිල්භාවයක් ඇති වුණේම නැද්ද? සංහිඳියාව ඇති කළේ නැත්නම් සයින්දමරදුවල හැංඟිලා හිටපු ප්‍රහාරකයන් ගැන තොරතුරු කියන්නෙ නැහැනේ. මුස්ලිම් අය කියන්නෙ නැහැ ප්‍රහාර නවත්වන්න කියලා. සංහිඳියාව නිසා ඝාතන තිබුණේ නැහැ. රටේ සංහිඳියාව නැති කරන්න කියලද කියන්නෙ. එකල යුද හමුදා සන්නද්ධ බුද්ධි අධ්‍යක්ෂව සිටි බ්‍රිගේඩියර් සුරේෂ් සලෙයි ඔබගේ කාලයේ එම ධුරයෙන් ඉවත් කරලා විදේශ දූත මණ්ඩල සඳහා යොමු කරනවා. ඔහුගේ නුසුදුසුකම් තිබුණාද? සුරේෂ් සලෙයිගේ තනතුරට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන අපි පත් කළා.රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ලෙස ලෝකයේ කිසිම රටක බුද්ධි අංශ ප්‍රධානියා වසර 4ක් විතර තනතුරේ තියන්නෙ නැහැ. වෙනස් කරනවා. එය ප්‍රතිපත්තියක්. සුරේෂ් සලෙයිගෙත් කාලය ඉවර වෙලා තිබුණා. ඒකයි මාරු කළේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධ වාර්තාව පිළිබඳ ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්නවද? අපි ඒ ගැන කතා කරනවා. ඉදිරියේදී කරුණු කියන්න සූදානම්. නමුත් වාර්තාව අසම්පූර්ණයි. මොකද මිනිස්සු තුවක්කු අරගෙන නිදහසේ ඔහොම වෙඩි තියන්නෙ නැහැ. බෝම්බ පුපුරුවන්නෙ නැහැ. මේක දැනුවත්ව සිදු කළ ප්‍රහාරයක්. මේ ගැන සොයන්නෙ නැහැනේ. දැන් මේ ගැන සොයන්න පුළුවන්ද? එම කාලයේ කළා නම් තොරතුරු නිවැරැදිව ලැබෙනවා. දැන් මොනවත් කරන්නෙ නැහැ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මේ ගැන පරීක්ෂණ කළ නිලධාරීන් කිහිප දෙනෙකුත් මාරු කළා. වත්මන් රජය තමයි එහෙම කළේ. ඔබගේ ආණ්ඩුව මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාගේ තටු කැපූ නිසා මෙය වළක්වා ගන්න බැරි වුණා කියලා චෝදනා එල්ල වෙනවා? අපි 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරලා බලයට ආවේ විධායක බලතළ සම්පූර්ණයෙන්ම නැති කිරීමට. සමහර බලතළ හිටපු ජනාධිපතිවරයාට දුන්නා. පාර්ලිමේන්තුවට බලතළ දුන්නා. බලතළවලින් නොවෙයිනේ ත්‍රස්තවාදය නතර කරන්නෙ. ආරක්ෂක අංශ ක්‍රියා කරන්න ඕනි. ඊට අවශ්‍ය අනුමැතිය ජනාධිපතිවරයා හා ආරක්ෂක අමාත්‍යවරයා ලබා දිය යුතුයි. කොමිෂන් සභා වාර්තාව නිසා හිටපු ජනාධිපතිවරයාට එල්ලුම්ගස් යන්න වෙයිද? මම කියන්නෙ නැහැ. කොහොමත් දැන් එල්ලුම්ගස් නැහැනේ. බොදු බල සේනා සංවිධානය, ඇතුළු අන්තවාදී සංවිධාන තහනම් කරන්න කොමිෂන් සභාව යෝජනා කර තිබෙනවා. එහෙම කරන්න පුළුවන්ද? අපි හැම විටම බැලුවේ අන්තවාදයට එරෙහිව ක්‍රියා කරන්න. දේශපාලන පක්ෂ හෝ බොදු බල සේනාව හෝ කවුරු වුණත් කමක් නැහැ. වෛර කිරීම නතර කළ යුතුයි. අන්තවාදයෙන් රට කුලප්පු කිරීමද නතර කළ යුතුයි. එවැනි සංවිධානයක් වරදක් කරලා තියෙනවා නම් තහනම් කිරීම පිළිබඳව බලන්න පුළුවන්. මෙම වාර්තාවෙන් කියලා තියෙන්නෙ එක එක සංවිධාන ගැන. ඒවා නීතියෙන් තහනම් කරන්න පුළුවන්ද කියා ගැටලුවක් තියෙනවා. අන්තවාදය හා වෛර කිරීමට සම්බන්ධ පුද්ගලයන්ට දඬුවම් කිරීමට තමයි අපි සූදානම් වුණේ. එය උසාවියට ගිහින් කළ යුතුයි. මෙම කොමිෂන් සභා වාර්තාවෙන් කියන්නෙ නීතියෙන් කරන්න කියලා. එය කරන්න ගියොත් ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. එක සංවිධානයක් තහනම් කරන්නෙ ඇයිද කියා ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. කණ්ඩායමක්ම ඇතුළත් කළ යුතුයි. තනි සංවිධානයක් තහනම් කරන්න හේතුවක් තිබිය යුතුයි. ඔබතුමාගේ අදහස් දැක්වීමෙන් පෙනෙන්නේ කොමිෂන් සභා වාර්තාව කිසිදු ප්‍රතිඵලදායක නොවන බවයි? මෙහෙමයි. බුද්ධි අංශ තොරතුරු අරයට දුන්නද මෙයාට දුන්නද කියල අහලා පිටු ලක්ෂයකින් සමන්විත වාර්තාවක් හදල වැඩක් තියෙනවද? ඒකයි මම කියන්නෙ අසම්පූර්ණ වාර්තාවක් කියලා. පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය මෙරටට වාසිදායකද? පාකිස්තානය සමග හොඳ සබඳතාවක් අපිට තිබෙනවා. මීට පෙරද පාකිස්තාන අගමැතිවරු ඇවිත් තිබෙනවා. නවාෂ් ෂරිෆ්, මුෂාරාෆ් වගේ නායකයන්ද ආවා. යනවා. එය අලුත් දෙයක් නෙවෙයි. ලංකාවට ඇවිත් ඉම්රාන් ඛාන් අගමැතිවරයා කළ ප්‍රකාශ එයාගේ ප්‍රකාශ විතරයි. එම ප්‍රකාශ අපට නතර කරන්න බැහැනේ. උදයජීව ඒකනායක
 

More News..