brand logo

පාස්කු ප්‍රහාරයෙන් මියගිය තරුණියගේ අවසන් කටයුතු හෙට යාපනයේදී

02 February 2020

පාස්කු ඉරිදා දිනයේදී කොච්චි කඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලබා රාගම, උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජිවිතක්ෂයට පත්වු 27 හැවිරිදි තරුණියගේ අවසන් කටයුතු හෙට (03) දිනයේදී පැවැත්වීමට නියමිත බව මියගිය තරුණියගේ ඥාතීන් පවසති. ප්‍රහාරයෙන් අනතුරුව මාස නමයක කාලයක් ප්‍රතිකාර ලබමින් සිටියදි පසුගිය 29 වැනිදා ජිවිතක්ෂයට පත්වු යාපනය,රක්කා පාර ප්‍රදේශයේ පදිංචි නීරීන් ෆ්ලොරීඩ් නැමති 26 හැවිරිදි තරුණියගේ අවසන් කටයුතු එලෙස සිදුකිරීමට නියමිතය. නීරීන් ෆ්ලොරීඩ් තරුණිය 1992 වසරේ අගෝස්තු මස 07 වැනිදා යාපනය ප්‍රදේශයේ උපත ලබා තිබිණ. තරුණියගේ මළ සිරුර ඊයේ (01) සවස ඇයගේ නිවස වෙත රැගෙන එනු ලැබු අතර දේහය වෙනුවෙන් ගෞරව දැක්වීමට විශාල පිරිසක් පැමිණෙමින් සිටිති. නිරීන් තරුණිය කොටහේන ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක සේවය කොට ඇති අතර, පාස්කු ඉරිදා දිනයේදී කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව් මැදුරේ පැවැත්වු දේව පූජාවට සහභාගිවෙමින් සිටියදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට ලක්ව තිබිණ. බෝම්බ ප්‍රහාරයෙන් ඇගේ දෑස්වලට ද දැඩි හානි සිදුව ඇති අතර කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඇයව පසුව උතුරු කොළඹ ශික්‍ෂණ රෝහල වෙත මාරු කර එවා තිබිණ. මියගිය තරුණියගේ ඥාතීන් පැවසූවේ යාපනය කතෝලික දේවස්ථානයේදී පූජාවන් පැවත්වීමේන් අනතුරුව දේහය සම්බන්ධයෙන් අවසන් කටයුතු හෙට(03) උදැසන 10.30 ට සිදුකිරීමට නියමිත බවයි. තරුණිය පවුලේ එකම ගැහැණු දරුවා වන අතර, මව,පියා හා සහෝදරයින් දෙදෙනා තරුණියගේ මරණයෙන් දැඩි ලෙස ශෝකී වි සිටින බවද ඥාතීන් පැවසූහ. තරුණිය සිය වැඩිදුර අධ්‍යයන කටයුතු පහසු කර ගැනීමේ අදිටනින් කොළඹ ප්‍රදේශයේ රැකියාවක් වෙත ගොස් ඇති බවද පවුලේ ඥාතීන් පැවසූහ. තරුණියගේ මරණයත් සමඟ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව 260 දක්වා ඉහළ ගොස් ඇති අතර, කොච්චිකඬේ දේවස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 55 ක් වන බවද ආරක්ෂක අංශ පවසති. පාස්කු ප්‍රහාරයට ලක්ව තවත් පිරිසක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවද ආරක්ෂක අංශ පවසති. වවුනියාව - මාධව කුලසූරිය
 

More News..