brand logo

පාස්කු ප්‍රහාරයට සෘජු හා වක්‍රව සම්බන්ධ වූ සියලු දෙනාට එරෙහිව උපරිම දඩුවම්

10 March 2021

පාස්කු ප්‍රහාරයට සෘජු හා වක්‍රව සම්බන්ධ වූ සියලු දෙනාට එරෙහිව උපරිම දඩුවම් පමුණවන බවත් ප්‍රහාරයට නැඹුරු වූ ආකාරය, ප්‍රහාරය මෙහෙය වූ අයුරු , අරමුණ, මුදල් ලැබුණු ආකාරය සහ ප්‍රහාරය සම්බන්ධ දේශීය විදේශීය සම්බන්ධතා සියල්ල හඳුනාගෙන ඇති බව මහජන ආරක්‍ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා අද(10) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය. පාස්කු ප්‍රහාරයට ලක්ව මිය ගිය ජනතාව වෙනුවෙන් එම ඝාතකයින්ට සහ එම ඝාතනය සැලසුම් කරවූවන්ට එරෙහිව උපරිම දඩුවම් ලබා දීමට රජය ගන්නා ක්‍රියාමාර්ග සහ මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් රජය ගන්නා ක්‍රියාමාර්ග සම්න්ධයෙන් මහජන ආරක්‍ෂක අමාත්‍යාවරයා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මේ බව සඳහන් කළේය. පාස්කු ප්‍රහාරය සම්බන්ධ පුද්ගලයන් 676 දෙනෙකු මෙරටදී අත්අඩංගුවට ගෙන ඇති බවත් එයින් 200 දෙනෙකු බන්ධනාගාර ගත කර ඇති බවත් 66 දෙනෙකු රඳවා තබා ගෙන විමර්ෂන කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැහැදිළි කළේය. මේ අතරින් 408 දෙනෙකු ඇප පිට නිදහස් කළද ඔවුන් සම්බන්ධයෙන්ද අඛණ්ඩව පරීක්ෂණ කරන බව ද අමාත්‍යවරයා කීය. අවාසනාවන්ත ලෙස සිදු වූ මෙම සිදුවීම වළක්වා ගැනීමට හැකි වුවද පසුගිය රජය පාස්කු ප්‍රහාරයට පෙර බුද්ධි අංශ අකර්මන්‍ය කර හමුදාවේ චිත්ත ධෛර්ය අකර්මන්‍ය කිරීම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දේශපාලනීකරණය කිරීම, ජාතික ආරක්ෂාව බින්දුවට හෙළීම නිසා ඉතා පහසුවෙන් ඝාතකයින්ට මෙම ප්‍රහාරය සිදු කිරීමට හැකි වූ බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එවකට පැවති රජය මහජන ආරක්ෂාව පිළිබඳව පැවති මන්දගාමී ආකල්පය, ජාතික ආරක්ෂාව පිළිබඳව ඇති ආයතන අතර නිසි සම්බන්ධයක් නොවීම වැනි හේතු නිසා ප්‍රහාරය වළක්වා ගැනීමට තිබූ අවස්ථා 09ක් මග හැරුණු බවද අමාත්‍යවරය කීය. වර්තමාන රජයට බලයට පත් වූ වහාම නැවතත් බුද්ධි අංශ ශක්තිමත් කළ බවත් පාස්කු ප්‍රහාරය හා සම්බන්ධ පුද්ගලයන් 99 දෙනෙකු මෙරටදීත් තවත් පුද්ගලයන් 35 දෙනෙකු අත්අඩංගුවට ගෙන විමර්ෂනය කළ බවත් විදේශ රටවල් 05ක් සමග එක් වී ප්‍රහාරය සම්බන්ධ පුද්ගලයන් 54 අත්අඩංගුවට ගත් බවත් සඳහන් කළ අමාත්‍යවරයා ඒ් අතුරින් 50 දෙනෙකු මෙරටට ගෙන්වා ගන අතැයිද කීය. වයස අවුරුදු 05 සිට 16 දක්වා සියළුම දරුවන්ට රජයේ අධ්‍යපන ප්‍රතිපත්තිය අනුව අධ්‍යපනය ලබා දිය යුතු බවට අවධාරණය කළ අමාත්‍යවරයා ඒසේ නොකරන සියළු පාසල් තහනම් කරන බවත් මද්‍රසා පාසල් අධ්‍යපන දෙපාර්තමේන්තුව සමග එක්ව නියාමනය කිරීමට කටයුතු කරන බවද කීය. මෙරට ක්‍රියාත්මක වන අන්තවාදී කණ්ඩායම් 11ක් හඳුනාගෙන ඇති බවත් ඉදිරියේදී එම කණ්ඩායම් තහනම් කරන බවත් අමාත්‍යවරයා කීය.ඉස්ලාම් පෙළපොත් වල ඇති මූලික ආගමික ඉගැන්වීම් නිවැරදි කිරීමට කටයුතු කරන බවත් 1-13 දක්වා පෙළපොත් ඇති ආගමික සහජීවනයට එරෙහිවන ඉගැන්වීම් ඉවත් කරන බවද කීය. තවද බුර්කාව තහනම් කිරීම, මුස්ලිම් විවාහ නීති සංශෝධනය කිරීම වැනි ක්‍රියාමාර්ග ගන්නා බවත් කී අමාත්‍යවරයා පාස්කු ප්‍රහාරය සම්බන්ධ සියළු තොරතුරු අනාවරණය වී ඇති බවත් දඩුවම් ලබා දීම නොදුරු දිනයේදී සිදු කරන බවත් කීය. තවද ඉදිරියේදී මෙවැනි ප්‍රහාර වලක්වා ගැනීමට කටයුතු කරන බවත් හෙළා දැකිය යුත්තේ ආගම් නොව ආගමික අන්තවාදය බවද කීය.
 

More News..