brand logo

පාස්කු ප්‍රහාරය ගැන හිටපු ජනපති මෛත්‍රිගෙන් අද හෝ හෙට ප්‍රකාශයක් - රනිල් දිනයක් යොදයි

07 January 2020

පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති පූජිත් ජයසුන්දර තවදුරටත් මෙම 20 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයට පත් කළේය. කොළඹ අතිරේක මහෙස්ත්රාත් ප්රියන්ත ලියනගේ ඊයේ (06වැනිදා) නියෝග නිකුත් කරන ලදී. මෙම පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී පරීක්ෂණවල ප්රගතිය අධිකරණයට වාර්තා කළ රහස් පොලිසිය වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් සහ හිටපු ආරක්ෂක රාජ්ය ඇමැති රුවන් විජේවර්ධන යන අයගෙන් ප්රකාශ සටහන් කර ගෙන තිබෙන බව සඳහන් කළේය. එමෙන්ම විමර්ශනයට අදාළව අසාද්සාලි සහ එම්.එල් .ඒ. එම්. හිස්බුල්ලා යන අයගෙන් ද ප්රකාශ සටහන් කර ගැනීමට නියමිත බව පැවසීය. එමෙන්ම අද (7වැනිදා) හෝ හෙට (08වැනිදා) තමන් ප්රකාශයක් ලබාදීමට සූදානම් බව හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන දැනුම් දී ඇති බවද අධිකරණයට දන්වා සිටියේය. හිටපු අග්රාමාත්ය රනිල් වික්රමසිංහගෙන් ද ප්රකාශයක් සටහන් කර ගැනීමට අවශ්යව තිබෙන නමුත් ඒ සඳහා මේ දක්වා දිනයක් ලබා දී නොමැති බව රජයේ නියෝජ්ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ ය. මෙම විමර්ශනයට අදාළව කාදිනල්තුමාගෙන් ප්රකාශයක් සටහන් කර ගැනීමට අවශ්යව තිබුණද කාදිනල්තුමා විසින් පාස්කු දින ප්රහාරය පිළිබඳව සොයා බැලීම සඳහා පත් කර ඇති ජනාධිපති කොමිසම වෙත දීර්ඝ ප්රකාශයක් ලබාදී ඇති නිසා එය මෙම විමර්ශනයට අදාළ කරගන්නා ලෙස උන්වහන්සේ වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයෙක් නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයි ද නියෝජ්ය සොලිසිටර් ජෙනරාල්වරයා පැවසීය. එබැවින් කාදිනල්තුමාගේ තවත් ප්රකාශයක් සටහන් කර ගැනීමට අවශ්ය නොවනු ඇතැයි ද හෙතෙම දන්වා සිටියේය. හේමසිරි ප්රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිල්ශාන් ජයසූරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයන් මාස තුනකට අධික කාලයක් රිමාන්ඩ් භාරයේ පසුවන හෙයින් විමර්ශන කඩිනමින් අවසන් කරන ලෙස රහස් පොලිසිය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය. ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහෙස්ත්රාත් ප්රියන්ත ලියනගේ මෙම පැමිණිල්ල නැවත මෙම 20 වැනිදා කැඳවන ලෙස නියෝග කළේය. එතෙක් සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට නියම විය. එදින පරීක්ෂණවල ප්රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් ද මහෙස්ත්රාත්වරයා රහස් පොලිසියට නියෝග කරන ලදී. අධිකරණ වාර්තාකරු
 

More News..