brand logo

පාස්කු දින ප්‍රහාරය හුදෙකලා සිද්ධියක් නොව සිද්ධි දාමයක කූටප්‍රාප්තියයි

26 October 2019

පාස්කු දින ප්‍රහාරය පිළිබඳ මේ වන විට රට හමුවට විමර්ශන වාර්තා දෙකක් ඉදිරිපත්ව තිබේ. එකක් විධායකය විසින් පත්කළ ජනාධිපති කමිටුවේ වාර්තාවය. අනෙක මීට දින හතරකට පෙර නිකුත් වූ ව්‍යවස්ථාදායකය විසින් පත් කළ තේරීම් කාරක සභාවේ වාර්තාවය. ජනාධිපති කමිටු වාර්තාව මෙතෙක් ප්‍රසිද්ධියට පත් කර නැත. තවමත් අප්‍රසිද්ධ මේ වාර්තාව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ලැබිණි. එය ලබා දුන්නේ ජනාධිපතිවරයා විසිනි. ඒ පාස්කු දින ප්‍රහාරය පිළිබඳ තේරීම් කාරක සභාව ජනාධිපතිවරයාගෙන් කරුණු විමසීමට ගිය අවස්ථාවේදීය. ප්‍රසිද්ධියට පත් නොකළ මෙම වාර්තාවේ සඳහන් ඇතැම් කරුණු , ප්‍රසිද්ධියට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාවට ඇතුළත් කර තිබේ. කෙසේ වෙතත් පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීමෙන් මිදෙන්නට ජනාධිපතිවරයාට නොහැකි බව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සිය වාර්තාවෙන් ප්‍රකාශ කර සිටී. නමුත් ජනාධිපති කමිටුව සිය විමර්ශනයේදී සොයා ගෙන ඇත්තේ මෙහිදී බුද්ධි අංශයේ සහ ආරක්ෂක අංශයේ අඩුපාඩු සිදුව ඇති බවය. ලද බුද්ධි තොරතුරු ජනාධිපතිවරයාට දැනුම් දී නැති බවත් ආරක්ෂක ලේකම්වරයා, පොලිස්පතිවරයා සහ ජාතික බුද්ධි ප්‍රධානීගේ අසමත් භාවයත් ජනාධිපති කමිටුව සොයා ගෙන ඇත. (පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාවේ පිටු අංක 37 සිට 40 දක්වා). තේරීම් කාරක සභා වාර්තාවට අනූව පාස්කු දින ප්‍රහාරය එක්තරා සිද්ධි දාමයක කූටප්‍රාප්තිය මිස තවත් එක් හුදෙකලා සිද්ධියක් නොවේ. ප්‍රහාරයේ මූල බීජය රෝපණය වන්නේ නැගෙනහිර පළාතේ කාත්තන්කුඩි ප්‍රදේශයේය. මේ ප්‍රදේශයේ සන්නද්ධ අන්තවාදී කණ්ඩායම් සිටින බව එවක බස්නාහිර ආණ්ඩුකාර අලවි මවුලානා 2011 වසරේ පැවති මාධ්‍ය හමුවකදී පළමුව හෙළිදරව් කර ඇත. වෙනත් ආගම් අවඥාවට ලක්කරමින් ජාතික තවුහිද් ජමාත් සංවිධානය විසින් 2013 දී තවුහිද් සඟරාව පළ කරති. මේ මුස්ලිම් අන්තවාදීන් පිළිබඳව ජමියතුල් උලමා සංවිධානයද බලධාරීන්ට අනතුරු ඇඟවීම් සිදුකර ඇත. එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා ඇමැතිවරයකුව සිටියදී හීරා පදනම සහ බැටිකලෝ කැම්පස් සමාගම 2013, 2014 කාලයේදී ස්ථාපිත කරන අතර සහරාන් විසින් තමන්ට පහර දෙමින් හිංසා කරන බවට සූෆි මුස්ලිම්වරු පැමිණිලි කරති. 2015 පාර්ලිමේන්තු මැතිවරණයේදී සහරාන් හිස්බුල්ලාට සහාය ලබා දෙන බවට ගිවිසුමත් අත්සන් කිරීමත් සිදුව ඇත. ආරක්ෂක කවුන්සිලයේදී ප්‍රථම වරට සහරාන් පිළිබඳ සාකච්ඡා වන්නේ 2015 දීය. සහරාන්ට එරෙහිව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට පළමු පැමිණිල්ල ලැබෙන්නේ 2016 දීය. ඒ වසරේදීම කතෝලිකයන්ට එරෙහිව දේශන පවත්වමින් නත්තල හෙළා දකින සහරාන් නත්තල නොසමරන ලෙසට පත්‍රිකා බෙදමින් ජනතාවගෙන් ඉල්ලීම් කළේය. සූෆි මුස්ලිම් කණ්ඩායමක් සමග ගැටුමක් ඇතිකර ගත් සහරාන්, ඔහුගේ සොහොයුරු රිල්වාන් සහ ආමි මොහිදීන් වහා අත්අඩංගුවට ගන්නා ලෙස 2017 දී අසාද් සාලි ප්‍රසිද්ධියේ ඉල්ලා ඇත. අන්‍ය ආගමිකයන් මරා දැමීමට සහරාන් තම සංවිධානයෙන් ඉල්ලා සිටි බවට සූෆි මුස්ලිම් මවුලවිවරයෙකු ජනාධිපති කාර්යාලයට පැමිණිලි කර ඇත්තේ පැමිණිල්ලේ පිටපත් අගමැති කාර්යාලයට, එවක අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂගේ කාර්යාලයට, නීතිය හා සාමය භාර ඇමැති සාගල රත්නායකට, ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධනට, පොලිස්පතිට, නීතිපති දෙපාර්තමේන්තුවට සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාටද ඉදිරිපත් කරමිනි. ජාතික තවුහිද් ජමාත් සංවිධානය තහනම් කරන ලෙස ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සිය නිර්දේශද සමග නීතිපතිවරයාට ලිපිගොනුවක් ඉදිරිපත් කර ඇත්තේ 2017 දීය. ඒ දිනවලම තවුහිද් ජමාත් කාත්තන්කුඩියේ සිදු කරන ප්‍රචණ්ඩ ක්‍රියා ගැන මවුලවිවරයෙක් නීතිපතිවරයාට ලිපියක් භාරදී තිබේ. ජාතික තවුහිද් ජමාත් ගැන සිදුකරන සියලු විමර්ශන පිළිබඳ තමන් දැනුවත් කරන ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට දැනුම්දී ඇත. නමුත් පොලිසියෙන් කිසිදු දැනුම්දීමක් නොකළ බව නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත. 2017 දී පාසල් පෙළ පොත්වල ඉස්ලාම් දහම අත්හරින්නන්ට මරණ දඬුවම පැනවිය යුතු බව නිර්දේශ කර ඇත. ශ්‍රී ලංකාවේ ඉස්ලාම් රාජ්‍යයක් ස්ථාපිත කළ යුතු බවටත් මුස්ලිම් නොවන අය මරා දැමිය යුතු බවටත් සහරාන් කළ දේශන ඇතුළත් සංයුක්ත තැටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට ලැබෙන්නේද 2017 වසරේදීය. 2018 දී රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂවරයා විසින් සහරාන් පිළිබඳව ජාතික ආරක්ෂක මණ්ඩලය දැනුවත් කරයි. රැඩිකල්කරණයට ලක්වූ මුස්ලිම් තරුණයන් 94 කගේ නම් ලැයිස්තුවක් 2017 ඔක්තෝබර් මාසයේත් එවැනි තවත් තරුණයින් 129 කගේ නම් ලැයිස්තුවක් පාස්තු ප්‍රහාරයට මාස දෙකකට පෙරත් රාජ්‍ය බුද්ධි සේවාව විසින් පොලිසියට ඉදිරිපත් කළ බව එම සේවාවේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන කාරක සභාව හමුවේ සාක්කි දෙමින් කියා ඇත. මේ අය අතර ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් ප්‍රශ්න කර 2018 දී නිදහස් කළ ජමීල් නමැති, පාස්කු දා ප්‍රහාරයේදී මරාගෙන මැරුණු බෝම්බකරුද සිට ඇත. 2017 දී තමන් ලබා දුන් නම් ලැයිස්තුවේ සිටි අයගෙන් හය දෙනෙකු හෝ හත් දෙනෙකු මෙම ප්‍රහාරයට එක්වෙමින් මියගොස් ඇති බවද නිලන්ත ජයවර්ධන සිය සාක්කියේදී පවසා ඇත. සහරාන් පිළිබඳව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයෙන් සිදුකරන විමර්ශන නවතා දමන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇති රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂවරයා එම කටයුතු තමන් යටතට භාරගෙන ඇතැයිද කාරක සභාවට අනාවරණය වී ඇත. 2018 පෙබරවාරි සිට දිගන මුස්ලිම් විරෝධී කෝලහාල සහ සහරාන්ගේ ක්‍රියාකාරකම් ප්‍රචණ්ඩ අන්තවාදය වෙත ගමන් කිරීම ඇරැඹෙන අතර මුස්ලිම් තරුණයන් ප්‍රචණ්ඩ අන්තවාදය වෙත ආකර්ෂණය කර ගැනීම සඳහා ඔහු සිය මුහුණු පොත සහ වෙබ් අඩවි භාවිත කළේය. 2018 මැයි මස මාවනැල්ලේ බුදු පිළිම විනාශ කිරීම සිදුවේ. එය සිදු කළේ සහරාන් සමග සබඳතා පවත්වාගෙන ගිය සාදික් සහ සාජිඩ් යන දෙදෙනා බව පොලිසිය හඳුනාගත්තේය. සහරාන් අත් අඩංගුවට ගැනීම සඳහා ත්‍රස්ත විමර්ශන ඒකකය කොළඹ මහේස්ත්‍රාත්වරයාගෙන් විවෘත වරෙන්තුවක් සහ ජාත්‍යන්තර පොලිසියෙන් නිල් නිවේදනයක් ලබා ගන්නේත් රටේ අගමැතිවරයා සහ ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයා අවසන් වරට ජාතික ආරක්ෂක මණ්ඩල රැස්වීමකට සහභාගි වන්නේත් 2018 ඔක්තෝබර් මාසයේය. පොලිස්පති පූජිත් ජයසුන්දර එම රැස්වීම්වලින් බැහැර කිරීමද සිදුකෙරේ. ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණ චෝදනාවක් මත නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අත්අඩංගුවට පත් වීමත්, මඩකලපුව වවුනතිව්හි රාජකාරියේ යෙදෙමින් සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු ඝාතනය කිරීමත් මේ කාලයේදීම සිදුවිය. වනාතවිල්ලුවේදී පුද්ගලයන් සිව් දෙනෙකු පුපුරන ද්‍රව්‍ය සහ ඩෙටනේටර් සමග පසුගිය ජනවාරි මස අත් අඩංගුවට පත්වීම, සහරාන්, රිල්වාන් සහ ආමි මොහිදී්න් කාත්තන්කුඩියෙන් අතුරුදන්වීම සහ ඇමැති කබීර් හෂීම්ගේ සම්බන්ධීකරණ ලේකම්වරයාට වෙඩි තැබීම පාස්කු ප්‍රහාරයට පෙර සිදුවීම්ය. සහරාන්ගේ සහචරයින් මෙම සිදුවීම්වලට සම්බන්ධ බව පසුව අනාවරණය වී ඇත. අතුරුදන්ව සිටින සහරාන් ප්‍රාඩෝ වර්ගයේ ජීප් රියකින් අක්කරේපත්තු නින්තවූර් ප්‍රදේශයේ රහසිගතව සැරිසරමින් රැස්වීම් පවත්වන බවට යුද හමුදා බුද්ධි අංශයට එම ප්‍රදේශයේම ජනතාව තොරතුරු ලබා දී ඇති බවද තේරීම් කාරක සභාව හමුවේ හෙළිදරව් විය. සිදුවිය හැකි ප්‍රහාරයක් පිළිබඳව පළමු බුද්ධි වාර්තාව රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධනට ලැබෙන්නේ ප්‍රහාරයට දින 17 කට පෙර එනම් අප්‍රේල් 04 වැනිදාය. ඔහු එම තොරතුරු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස්ට ලබා දෙන අතර සිසිර මෙන්ඩිස් එය පොලිස්පතිවරයාට යොමු කරයි. සහරාන් සහ ඔහුගේ කණ්ඩායම මරාගෙන මැරෙන ප්‍රහාරයක් සැලසුම් කරන බවත් , සමහර පල්ලි සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඉලක්ක බවට පත්ව ඇතැයි නිලන්ත ජයවර්ධන විසින් රහසිගත ලිපියක් අප්‍රේල් 09 දා ජාතික බුද්ධි ප්‍රධානීට, පොලිස්පතිට සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට යවා ඇත. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර, ආයුධ ප්‍රහාර, පිහිවලින් සහ ට්‍රක් රථ යොදාගෙන කරන ප්‍රහාර මීට ඇතුළත් බවද එය සිදුකරන සහරාන් ඇතුළු මරාගෙන මැරෙන ත්‍රස්තයන්ගේ නම්ද මෙම ලිපියේ සඳහන්කර ඇත. මෙවැනි භයානක බුද්ධි තොරතුරක් තිබියදීත් අප්‍රේල් 16 දා වනතුරු බුද්ධි අංශ රැස්වීමක් කැඳවා නැතැයි පවසන විශේෂ කාරක සභාව මෙම බුද්ධි තොරතුරු ලැබීම සහ පාස්කු දින ප්‍රහාරය සිදුවන දිනය දක්වා ආරක්ෂක කවුන්සිලය රැස්ව නැතැයිද සිය වාර්තාවේ දක්වා ඇත. මේ අතර අප්‍රේල් 16 සහරාන් කාත්තන්කුඩියේදී පාස්කු දින බෝම්බ ප්‍රහාරය අත්හදා බැලීමක් සිදු කරයි. ඒ යතුරු පැදියක් පුපුරුවා හරිමිනි. වට්ස් ඇප් හරහා තමන්ට බුද්ධි තොරතුරු ලැබෙන බව රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂවරයා පවසා ඇත. පාස්කු ප්‍රහාරයට පෙරදින එනම් අප්‍රේල් 20 දා ඔහු වට්ස් ඇප් මගින් සිය ඔත්තුකරුවන්ට පවසන්නේ මරාගෙන මැරෙන ප්‍රහාරයක් කිරීමේ සැලසුමක් සහරාන් සහ ඔහුගේ සහචරයන්ට ඇති බවය. ඔත්තුකරුවෙකුගෙන් නිලන්ත ජයවර්ධනට ප්‍රතිචාරයක් ලැබේ. අප්‍රේල් 21 හෝ ඊට පෙර ඕනෑම අවස්ථාවක ඔවුන්ගේ ප්‍රහාර දියත්විය හැකි බවත් දේවස්ථාන සහ ඉන්දියානුවන් වැඩි වශයෙන් නැවතී සිටින හෝටල් ඇතුළු ස්ථාන අටක් සහරාන් ඒ සඳහා තෝරාගෙන ඇතැයි ඔත්තුකරුගෙන් ලැබෙන පණිවිඩය වේ. මේ පණිවිඩය ආරක්ෂක ලේකම්වරයාට, ජාතික බුද්ධි ප්‍රධානියාට සහ පොලිස්පතිවරයාට දැනුම් දුන් බව නිලන්ත ජයවර්ධන කාරක සභාවට පවසා ඇත. නිලන්ත ජයවර්ධනට අප්‍රේල් 21, එනම් පාස්කුදා උදෑසන 8.27 ටද පණිවුඩයක් ලැබේ. “ගරු කටයුතු මහත්මයාණෙනි, සුබ උදෑසනක්. ඔවුන් අද දින පැය 06.00 හා 10.00 අතර ක්‍රියාත්මක වීමට ඉඩ ඇත. ඔබගේ කාරුණික දැනුවත් වීම පිණිසයි මහත්මයාණෙනි”. ’‘ කොළඹ මෙතෝදිස්ත දේවස්ථානයක් ඔවුන්ගේ එක් ඉලක්කයකි” (තේරීම් කාරක සභා වාර්තාව පිටු අංක 64) තමන් මේ බව පෙරවරු 8.2ට බස්නාහිර නියෝජ්‍ය පොලිස්පතිවරයාට පැවසූ බවත් 8.30 ට පොලිස්පතිවරයාට සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම් දුන් බවත් නිලන්ත ජයවර්ධන කාරක සභාවට පවසා ඇත. කෙසේ වෙතත් පළමු ප්‍රහාරය කොළඹ කොච්චිකඩේ දේවස්ථානයේ සිදුව ඇත්තේ පෙරවරු 8.25 ට පමණය. දෙවැන්න මීගමුව කටුවාපිටියේ පෙරවරු 8.45 ට, මඩකලපුව සියෝන් දේවස්ථානයේ පෙරවරු 9.05 ටද බෝම්බ පිපිරීම් සිදුවිය. පෙරවරු 9.15 සහ 9.20 අතර විනාඩි පහ තුළ සිනමන් ග්‍රෑන්ඩ්, කිංග්ස්බරි සහ ෂැංග්‍රිලා යන හෝටලවලත් පස්වරු 2.00 ට දෙහිවල ට්‍රොපිකල් ඉන් ලැගුම්හලේත් 2.15ට දෙමටගොඩ නිවෙසකත් බෝම්බ පිපිරීම් සිදුවිය. මෙම ප්‍රහාරයට පෙර ලැබී තිබූ බුද්ධි තොරතුරු අදාළ අංශ අතර ක්‍රමවත් හුවමාරුවක් සිදුව නැති බව පවසන කාරක සභාව නීතිය හා සාමය පිළිබඳ බලධාරීන් සහ නීතිපති දෙපාර්තමේන්තුවෙන්ද ලැබුණු තොරතුරු පිළිබඳ අසමර්ථතා තිබූ බව පෙන්වා දේ. ආරක්ෂක සහ බුද්ධි යාන්ත්‍රණය තුළ උපාය මාර්ගික දැක්මක් නැති බවද කාරක සභා වාර්තාවේ සඳහන්වේ. ආරක්ෂක කවුන්සිලය රැස්කිරීම ජනාධිපතිවරයා මත රඳා පවතී. එහෙත් ආරක්ෂක කවුන්සිලය නිරතුරුව පැවැත්විය යුතු බව ආරක්ෂක හා බුද්ධි අංශවල කිසිවෙකු ජනාධිපතිවරයාට උපදෙස් දී නැත යනුවෙන් කාරක සභාව සිය වාර්තාවේ සටහන් කර ඇත. තමා මෙම ප්‍රහාරය පිළිබඳ දැන ගත්තේ ප්‍රථම ප්‍රහාරයෙන් පසුව බව එවක හමුදාපති මහේෂ් සේනානායක කාරක සභාවට ප්‍රකාශ කර ඇතත් ජනාධිපතිවරයා සාක්කි දෙමින් කියා ඇත්තේ බුද්ධි අංශයේ හත්දහසකගෙන් සමන්විත රෙජිමේන්තු හතක් ඇති හමුදාව කළේ කුමක්දැයි ප්‍රශ්නයක් තියෙන බවය. දේශපාලන නායකත්වයේද විශාල හිදැස් තිබූ බව පෙන්වා දෙන කාරක සභාව ජනාධිපතිවරයා විසින් ජාතික ආරක්ෂක කවුන්සිලයේ රැස්වීම්වලින් අගමැතිවරයා සහ ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයා බැහැර කිරීමද සංකීර්ණ තත්ත්වයක් බව සඳහන් කර සිටී. පාස්කු ප්‍රහාරය සිදුවෙද්දී ජනාධිපතිවරයා රටේ නොසිටි බවත් ඒ වෙනුවට වැඩබලන ආරක්ෂක ඇමැතිවරයෙක්ද පත්කර නොතිබූ බවත් රාජ්‍ය බුද්ධි අංශයෙන් ලද තොරතුරු දේශපාලන නායකත්වයට දැනුම් නොදුන් පොලිස්පතිවරයාගෙන් සහ ආරක්ෂක ලේකම්වරයාගෙන්ද අතපසුවීම් සිදුව ඇති බවත් කාරක සභාව පවසයි. ප්‍රහාරය පිළිබඳ අප්‍රේල් 04 දා පළමුවරට ලැබුණු තොරතුරු පිළිබඳ 09 වැනිදා ආරක්ෂක රැස්වීමේදී සාකච්ඡා කළා නම් මෙම විනාශය වළක්වා ගත හැකිව තිබූ බවද පොලිස්පතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා සිය රාජකාරිය පැහැර හැර ඇතැයිද වාර්තාවේ දැක්වේ. ජනාධිපතිවරයා සහ රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂවරයා තොරතුරු සන්නිවේදනය කර ගෙන ඇත්තේද ආරක්ෂක ලේකම්වරයා මගහරිමින් බව පෙනීයන්නේ යැයිද, තත්ත්වය පිළිබඳ තොරතුරු අගමැතිවරයාට නොදැන්වීම වැනි අතපසුවීම් ගණනාවක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සහ නිලධාරීන්ට දොස් නගා ඇත. කෙසේ වෙතත් පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුත්තන් ලෙස රාජ්‍ය බුද්ධි සේවය, ජනාධිපතිවරයා, අගමැතිවරයා, ආරක්ෂක රාජ්‍ය ඇමැති, ආරක්ෂක ලේකම්,ජාතික බුද්ධි ප්‍රධානී, පොලිස්පති, හමුදා බුද්ධි ප්‍රධානී , නැගෙනහිර හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා යන අය ලැයිස්තුගත කර ඇත. ප්‍රහාරය පිළිබඳ කල් තියා තොරතුරු දැනගත් අවස්ථාවේදී ඒ ගැන කාදිනල් හිමියන් දැනුවත් කළා නම් ප්‍රහාරය වළක්වාගත හැකිව තිබූ බවද සඳහන්වේ. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සිය වාර්තාව මගින් නිර්දේශ අටක් ඉදිරිපත් කර ඇත. ආරක්ෂක හා බුද්ධි අංශ ප්‍රතිසංවිධානය කිරීම, ශක්තිමත් මූල්‍ය අධීක්ෂණ යාන්ත්‍රණයක් ඇති කිරීම, ආගමික අන්තවාදය පාලනය කිරිම සහ අධීක්ෂණය කිරීමේ අවශ්‍යතාව, අධිකරණ ප්‍රමාදයන් වැළැක්වීම හා නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රතිසංවිධානය කිරීම, වහබ්වාදයට, ඉස්ලාම් අන්තවාදයට විරුද්ධව ක්‍රියා මාර්ග ගැනීම, මාධ්‍ය වාර්තාකරණය සහ ව්‍යාජ පුවත් ගැන අවධානය යොමු කිරීම, දේශපාලනඥයන් ජනතාව වෙනුවෙන් වගවීමට සැලැස්වීම සහ නැගී එන අන්තවාදය මැඬ පැවැත්වීමට අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ඇති කිරීම කාරක සභාවේ නිර්දේශයන්ය. මෙම ප්‍රහාරය රාජ්‍ය බුද්ධි අංශයේ අධ්‍යක්ෂවරයාගෙන් සිදුවූ බරපතළ අසාර්ථකවීමක් බව කාරක සභාව පෙන්වා දේ. ප්‍රහාරයේ වැඩි වගකීම පැවරෙන්නේ ඔහු මත බවද පවසන කාරක සභාව මෙම සිදුවීම වඩාත් තීව්‍ර වන්නේ සහරාන් පිළිබඳ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් සිදුකරන පරික්ෂණ නතර කරන ලෙසට රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂවරයා පාස්කු ප්‍රහාරයට වසරකට පෙර පොලිස්පතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටීම බවද සඳහන් කර සිටී. එහි ප්‍රතිඵලයක් ලෙස සහරාන් පිළිබඳ පරීක්ෂණ කළ එකම පුද්ගලයා වූයේ රාජ්‍ය බුද්ධි සේවාව බවද වාර්තාවේ සඳහන් කරයි. සිදුවීමට තිබෙන ප්‍රහාරයන් පිළිබඳ හා ලද බුද්ධි තොරතුරුවල වැදගත්කම පිළිබඳව පැහැදිලි කිරීමට සහ අනතුරු ඇඟවීමට තිබූ අවස්ථා ගණනාවක් රාජ්‍ය බුද්ධි සේවාවට මග හැරී ඇත්තේ සහරාන් සහ ඔහුගේ සහචරයින් අත් අඩංගුවට ගැනීමට වරෙන්තු සහ පොලිස් වාර්තා ද නිකුත්කර ඇති සන්දර්භයක් තුළ බවද වාර්තාව පෙන්වා දේ රාජ්‍ය බුද්ධි අංශයේ මෙම අසමත්භාවයේ ප්‍රතිඵලය වූයේ සිය ගණනක් මරණයට පත්ව විශාල පිරිසක් තුවාලවීම සහ රටට ගණනය කළ නොහැකි විනාශයක් සිදුවීම යැයිද එය සැහැල්ලුවට නොගත යුතු බවද තේරීම් කාරක සභාව පවසා සිටී. පාස්කු දින ප්‍රහාරයෙන් පුද්ගලයන් 277 ක් ජීවිතක්ෂයට පත් විය. ඒ අතර දරුවන් 45 ක් සහ විදේශිකයන් 40 ක්ද ඇත. 400 කට වැඩි පිරිසකට තුවාල සිදුවිය. වින්දිතයින් අදත් අසරණය. කොතරම් වන්දි ලැබුණද ඔවුන්ගේ සිත් සුවපත් කළ නොහැක. මේ ප්‍රහාරය ගැන සොයා බැලීමට දැන් ජනාධිපති කොමිසමක්ද පත් කර ඇත. තමන් වින්දිතයින් බවට පත් කළ මේ ප්‍රහාරය සම්බන්ධයෙන් කමිටු, කාරක සභා සහ කොමිෂන් සභා කොතරම් ඇති කළත් ඒවායෙන් නිකුත් කරන වාර්තා යන්නේ හමස් පෙට්ටියට බවද ඔවුහු දනිති. අජිත් අලහකෝන්
 

More News..