brand logo

පාසල් හා ආරක්ෂක නිල ඇඳුම් දේශීයව නිෂ්පාදනයට පියවර

29 September 2020

ලබන වසරේ සිට පාසල් ළමුන්ට සහ ආරක්ෂක හමුදා සාමාජිකයින්ගේ නිල ඇඳුම් සඳහා අවශ්‍ය රෙදි සැපයීමේ වගකීමෙන් වැඩි ප්‍රතිශතය දේශීය නිෂ්පාදකයන්ට පැවරීමට ඇති හැකියාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විමසුමට ලක්වී තිබේ. ජනාධිපතිවරයා ඊයේ (28) දින රෙදි නිෂ්පාදනය සිදුකරනු ලබන කර්මාන්ත ශාලා කිහිපයක නිරීක්ෂණ චාරිකාවක යෙදුනේය. සුළු සහ මහා පරිමාණ දේශීය නිෂ්පාදකයන් ඉහළ ප්‍රමිතියකින් සහ ගුණාත්මක අගයෙන් වැඩි රෙදි නිෂ්පාදනය වහාම ආරම්භ කළ යුතු බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය. දංකොටුව, කර්මාන්තපුරයේ Dankotuwa Textile Mill (Pvt.) Ltd, කඳාන, කපුවත්ත වැන්ගාඩ් Vanguard Industrial (Pvt) Ltd සහ වත්තල Creative Textile Mill (Pvt) Ltd ආයතන නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා මේ බව පැවසීය. පාසල් නිල ඇඳුම් සඳහා ක්‍රියාත්මක කළ කූපන් ක්‍රමයත් සමග විශාල ප්‍රාග්ධනයක් වැයකර ආරම්භ කළ ආයතන කිහිපයක් වසා දැමීමට සිදුවූ බව කර්මාන්තකරුවෝ පවසන අතර ඒ හේතුවෙන් විශාල පිරිසකට රැකියා අහිමි වූ බව ඔවුන් සඳහන් කරන ලදී. දංකොටුව කර්මාන්තයේ පුරයේ පිහිටුවා ඇති Creative Textile Mill (Pvt) Ltd ආයතනය ප්‍රථමයෙන් ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් කෙරිණි. රුපියල් මිලියන 2,000ක ආයෝජනයකින් ස්ථාපිත කළ එම කර්මාන්ත ශාලාව 2015 වසරේ සිට වසා තබා තිබූ අතර කිසිදු ආදායමක් නොලැබුණ ද වසරකට රුපියල් මිලියන 8ක බැංකු පොළීයක් ගෙවීමට හිමිකරුට සිදුව තිබේ. Creative Textile ආයතනය ඉන්දියාව, පාකිස්තානය සහ චීනය යන රටවලින් නූල් ආනයනය කර රෙදි නිෂ්පාදනය කිරීමෙන් 500 දෙනෙකුට රැකියා සපයා ඇත. එහි නිෂ්පාදන ධාරිතාව දිනකට රෙදි මීටර් ලක්ෂය දක්වා වැඩිකිරීමට අපේක්ෂා කෙරේ. වාර්ෂික පාසල් නිල ඇඳුම් අවශ්‍යතාව මීටර් මිලියන 11කි. රෙදි නිෂ්පාදනය කඩිනමින් යළි ඇරඹීමට ආයතන කළමනාකාරීත්වය දිරි ගැන්වූ ජනාධිපතිවරයා ස්වයං රැකියාවක් ලෙස රෙදි නිෂ්පාදනයේ නිරත පිරිසට ද පාසල් රෙදි සැපයුමට අවස්ථාව සැලසීම ගැන සොයා බලන්නැයි පැවසීය. දේශීය රෙදි නිෂ්පාදනය වැඩි කිරීමෙන් ආනයන පිරිවැය 68%කින් ඉතිරිකර ගත හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පෙන්වා දුන්නේය. දේශීය රෙදි මිලට ගැනීමෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට වාර්ෂිකව රුපියල් මිලියන 80කට අධික මුදලක් ඉතිරි කරගත හැකි බව ද අනාවරණය විය. ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය සහ ජනතාව දංකොටුව, කර්මාන්තපුරය ආශ්‍රිතව ඉදිරිපත් කළ ගැටළු පිළිබඳව ද ජනාධිපතිතුමා අවධානය යොමු කළේය. 2015ට පෙර පාසල් නිල රෙදි අවශ්‍යතාවෙන් 40%ක දායකත්වයක් දුන් කඳාන, කපුවත්ත (වැන්ගාඩ්) Vanguard Industrial (Pvt) Ltd ආයතනය දැන් ඇඳ ඇතිරිලි සහ තුවා නිෂ්පාදනයේ නිරතව සිටි. එම ආයතනයේ සමස්ථ නිෂ්පාදන ක්‍රියාවලිය නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා දේශීය වෙළෙඳපොළහි රෙදි අවශ්‍යතාව සපුරාලීමට ධාරිතාව වැඩි කරන්නැයි ආයතන කළමනකාරිත්වය දිරි ගැන්විය. තම ආයතනයට ද පාසල් නිල ඇඳුම් රෙදි අවශ්‍යතාවෙන් 30%ක් සම්පාදනය කළ හැකි බව කළමනාකාරිත්වය එහිදී සඳහන් කළේය. Dankotuwa Textile Mill ආයතනයේම ශාඛාවක් වන වත්තල ක්ලිප්ටෙක්ස් Creative Textile Mill ආයතන ද ජනාධිපතිවරයා නිරීක්ෂණය කළේය. ත්‍රිවිධ හමුදාවේ නිල ඇඳුම් සඳහා අවශ්‍ය රෙදි එහි නිෂ්පාදනය කෙරේ. 1500ක පමණ පිරිසක් සේවය කරති. ආරක්ෂක අංශවලට අවශ්‍ය පරිදි රෙදි වර්ණ ගැන්වීම ආයතනයේ මූලික කාර්යයකි. ආනයනික රෙදි පරීක්ෂා නොකරන අතර, දේශීය රෙදි නිෂ්පාදන පරීක්ෂණවලට යොමු කිරීමේ දී විශාල පිරිවැයක් දැරීමට සිදුවන බව කළමනාකරිත්වය ජනාධිපතිවරයාට කීය. රෙදි සෝදන කුඩු වර්ග නිසි නියාමනයකට ලක් නොවන බව ඔවුන් පෙන්වා දී තිබේ. එමගින් රෙදිවල වර්ණයට විශාල හානියක් වන බව ද ඔවුන් පවසා තිබේ. රජය දේශීය කර්මාන්තකරුවන්ට දෙන සහය ප්‍රයෝජනයට ගෙන දේශීය මෙන්ම විදේශීය වෙළෙඳපොළ දිනා ගැනීමට උත්සුක වන්නැයි ජනාධිපතිවරයා ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය. මේ ආයතනය නිෂ්පාදනය කරන ජාතික කොඩි සහ බෞද්ධ කොඩි නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා ඉල්ලුමට අවශ්‍ය පරිදි රට තුළ නිෂ්පාදනය වැඩි කිරීමට පියවර ගන්නැයි හිමිකරුවන් ට දැනුම් දුනි.
 

More News..