brand logo

පාසල් ප්‍රවාහනයත් ආසන ගණනට පමණයි

24 June 2020

ජූලි මාසයේදී පාසල් නැවත විවෘත කිරීමෙන් අනතුරුව පාසල් ප්‍රවාහන රථවල ආසන ගණනට පමණක් සිසුන් ප්‍රවාහනය කළ යුතු බව අධ්‍යාපන සහ සෞඛ්‍ය අමාත්‍යාංශ ඒකාබද්ධව රියැදුරන්ට සහ එම වාහන හිමිකරුවන්ට දැනුම් දී ඇත. තදබදය වැළැක්වීමට මෙන්ම කොවිඩ් - 19 වයිරසය පැතිරීම වැළැක්වීම සඳහා පසුගිය සතියේදී මෙම මාර්ගෝපදේශන පාසල් ප්‍රවාහන සේවා ක්‍රියාකරුවන් වෙත දැනුම් දී තිබේ. මෙම මාර්ගෝපදේශයන්ට අනුව වාහනවල ගමන් කරන සිසුන් සහ රියැදුරන් මුහුණු ආවරණ පැලඳ සිටීම අනිවාර්ය වේ. එසේම එම වාහන දිනපතාම විෂබීජහරණය කළ යුතුය. තවද ශ්වසන රෝගවලින් පෙළෙන සිසුන් ප්‍රවාහනය කිරීමෙන් වළකින ලෙසද වාහනවල දොරවල් විවෘත කිරීමට වෙනම පුද්ගලයකු යොදවන ලෙසත් රියැදුරන්ට සහ වාහන හිමිකරුවන්ට වැඩිදුරටත් උපදෙස් ලබාදී ඇත. මේ වන විට ශ්‍රී ලංකාව පුරා පාසල් වෑන් රථ 40,800ක් පමණ ක්‍රියාත්මක අතර සිසුන් මිලියන 02ක පමණ සංඛ්‍යාවක් එමගින් ප්‍රවාහනය කෙරේ. කෙසේ වෙතත් මාස කිහිපයක් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් පාසල් සිසුන් ප්‍රවාහනය කරන්නන් දුෂ්කරතාවන් රැසකට මුහුණ දී ඇති බවත් නැවත පාසල් විවෘත කිරීමේ පටිපාටිය සමග එකඟ විය නොහැකි කරුණු ගණනාවක් පවතින බවත් පවසන අන්තර් දිස්ත්‍රික් පාසල් සිසු ප්‍රවාහන සේවා සංගමය පවසන්නේ මෙම ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට අධ්‍යාපන ඇමැතිවරයා විසින් වහාම සාකච්ඡාවක් කැඳවිය යුතු බවයි. ජූලි 06 දක්වා සිට කාණ්ඩ කිහිපයක් යටතේ සිසුන් පාසල් යෑම ආරම්භ කිරීමට නියමිතය.   නයන තරංග ගමගේ
 

More News..