brand logo

පාසල් නිල ඇඳුම් ප්‍රමාදය ගැන ජනපති අවධානය

13 January 2021

පාසල් දරුවන්ට නිල ඇඳුම් ලබාදීම ප්‍රමාදවීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පෙරේදා (11 වැනිදා) පැවැති ඇමැති මණ්ඩල රැස්වීමේදී කරුණු විමසා ඇත. එහිදී අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් හා කර්මාන්ත ඇමැති විමල් වීරවංශ කරුණු දක්වා ඇති අතර දේශීය නිෂ්පාදකයන් මගින් නිල ඇඳුම් කඩිනමින් ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කිරීමටද තීරණය වී ඇත. මේ වනවිට දේශීය නිෂ්පාදකයන්ගෙන් නිල ඇඳුම් රෙදි මිලදී ගැනීම සඳහා මිල ගණන් කැඳවා ඇණවුම් ප්‍රදානය කර තිබේ. මෙම රෙදි දේශීය නිෂ්පාදනයන් බව තහවුරු කර ගැනීම හා නිල ඇඳුම් රෙදි නිෂ්පාදනයට අදාළ සැපයුම්කරුවන් වෙන්කර හඳුනා ගැනීම අරමුණු කර ගනිමින් එකිනෙකට වෙනස් වර්ණයන්ගෙන් යුත් නූලක් නිල ඇඳුම් රෙදිවල එක් කෙළවරක යොදන ලෙසටද අමාත්‍යාංශය නිෂ්පාදකයාට උපදෙස් ලබාදී තිබේ. ලබාදෙන රෙදි නිවැරදි ප්‍රමිතියෙන් යුක්ත බවට ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟලුම් ආයතනය මගින් පරීක්ෂාවට ලක්කළ යුතුය. එම ආයතනය පසුගිය වසරේ දෙසැම්බර් විසිතුන් වන දින අමාත්‍යාංශයට දැනුම්දී ඇත්තේ සැපයුම්කරුවන් තත්ත්ව පරීක්ෂාව සඳහා ලබාදී ඇති රෙදි ප්‍රමාණය මුළු නිල ඇඳුම් රෙදි අවශ්‍යතාවයෙන් සියයට හතළිස් නවයක් බවකි. එමෙන්ම අනෙකුත් සියලු අවශ්‍යතාවන් සම්පූර්ණ කර තිබියදී හඳුන්වා දුන් නූල නොමැති නිසා ප්‍රතික්ෂේපවී ඇති රෙදි ප්‍රමාණය මුළු අවශ්‍යතාවයෙන් සියයට හතක් බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. උදයජීව ඒකනායක
 

More News..