brand logo

පාලකයන් රටක තාවකාලික භාරකරුවන් මිස සින්නක්කර ඔප්පු සහිත හිමිකරුවන් නොවේ - සජිත්

31 October 2019

පාලකයන් රටක තාවකාලික භාරකරුවන් මිස සින්නක්කර ඔප්පු සහිත හිමිකරුවන් නොවන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු ජනපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි. එබැවින් මෙරට ආරක්ෂා කරනවා මිස රට විනාශවීමට කිසිසේත්ම ඉඩ නොතබන සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දැක්වීමේ අවස්ථාවේදී ඒ මහතා මේ බව කීවේය. විප්ලවීය වෙනසක් ඇති කිරීමේ මහා ජාතික ව්‍යායාමය දියත් කිරීමේ අරමුණින් පොදු ජනතාවට සෙත සලසන සමස්ථ ජනතාවගේ උන්නතිය සහ මාතෘභූමියේ උන්නතිය සඳහා අද දිනයේ මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දැකීමත් සමඟ ඓතිහාසික ගමනක් ආරම්භ වෙනවා යැයි කී අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ප්‍රකාශ කළේය. පවුල කේන්ද්‍ර කරගත් රටේ පුරවැසියාට මූලිකත්වය ලබා දෙන විප්ලවීය සමාජ ආර්ථික දේශපාලනය වැඩපිලිවෙලක ආරම්භය තමයි මේ සනිටුහන් වෙන්නේ. අප මාතෘ භූමියේ ජීවත්වෙන සියලු ජාතීන්ට සියලු ආගමිකයන්ට කුල ගෝත්‍ර වලට සම්බන්ධ සියලු දෙනාගේ පැතුම සහ බලාපොරොත්තුව වී තිබෙන්නේ ශක්තිමත් ආර්ථිකයක් තේජසින් යුතු දේශපාලන වටපිටාවක් හ සද්දන්ත රාජ්‍යයකින් යුතු ඡද්දන්ත මාතෘ භූමියක් බිහි කරලීමයි. ඔවුන් අපේක්ෂා කරන්නේ එය යථාර්ථයක් වන්නේ කවදාද එය කෙබඳු ආකාරයෙන් සිදුවන්නේද යන්නයි. මෙරට සමස්ත ජනයා පෙළෙන මොහොතක මේ රටේ සමස්ත ජනයාට නව ආලෝකයක් නිර්මාණය කරමින් එමෙන්ම මෙරට ජනතාවට සැබෑ සමෘද්ධිය සහ සෞභාග්‍යය අත්පත් කර දීමට 16 වන දින නිර්මාණය වන අලුත් යුගයට හැකියාව හිමිවෙනවා. එය ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකා ඉතිහාසයේ නව පෙරළියක් බවට පත්වේවි. අපගේ මෙම ව්‍යායාමය මනුෂ්‍යත්වයේ නාමයෙන් මනුෂ්‍යත්වයට ලබාදිය යුතු උපරිම ගරුත්වය ලබා දෙමින් ජනතාව ජීවත් කරවන පරමාදර්ශී වැඩපිළිවෙළ තුළ අප මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය නිර්මාණය කර තිබෙනවා. අපේ මෙම මාතෘභූමිය වන ශ්‍රී ලංකාව තේජවන්ත රටක්. රටක් වශයෙන් කිසිම අවස්ථාවක වෙනත් රටක් හෝ රටවල් සමූහයක් ඉදිරියේ දණ නොනමන රටක්. විවිධ බලවේග විවිධ පාර්ශ්ව කරුවන් අභ්‍යන්තර න්‍යාය පත්‍ර අනුව ඇඟිලි ගැසීමට උත්සාහ දරන කාලවකවානුවකදී මම සෘජුව ප්‍රතිඥා දෙන්නේ අපේ රටේ ඒකීයභාවය, ස්වෛරීත්වය භෞමික අඛණ්ඩතාවය, දේශපාලනික නිදහස, සම්බුද්ධ ශාසනයට මුල්තැන ලබා දෙමින්, සෙසු ආගම් සෙසු ජාතීන් සුරක්ෂා කරමින් සැබෑ ස්වෛරී ජනතා පරමාධිපත්‍යය වන මාතෘ භූමියක් බිහි කරන බවටයි. රජයක් වශයෙන් ක්‍රියාත්මක කරන සමාජීය ආර්ථික සංස්කෘතික සියලුම ක්‍රියාදාමයන් ඉටු කිරීම අපගේ දැක්මයි. අපගේ වැඩ පිළිවෙල වන්නේ සියලුම ප්‍රතිලාභ රටටත් ජනතාවටත් අත්පත් වන වැඩ පිළිවෙලක් දියත් කිරීමයි. රටක පාලකයන් රටේ සින්නක්කර ඔප්පුව සහිතව හැසිරෙන පිරිසක් වෙනවා වෙනුවට රටේ තාවකාලික භාරකරුවන් හැටියට, පාලකයන් නොව ජනතා සේවකයන් හැටියට, පොදු ජනතාව ඉදිරියේ පයට පෑගෙන දූවිල්ලක් අත් වඩා නිහතමානී වෙලා. දස රාජධර්ම කේන්ද්‍ර කරගනිමින්, සෘජුභාවය සහ මොළොක් බව යන අංශ දෙකම සර්ව සාධාරණ ජන සමාජයක් , යුක්තිය ඉෂ්ඨ වන ජන සමාජයක්, විශිෂ්ට ප්‍රශස්ත සංවර්ධන ක්‍රියාදාමයක්, සිවිල් මානව අයිතිවාසිකම් පමණක් නොව ආර්ථික සමාජයීය සහ සංස්කෘතික අයිතිවාසිකම් වලට ප්‍රමුඛත්වය ලබා දෙන යුගයක් අපේ රටේ නිර්මාණය කිරීමට අපි ඉතාමත්ම උනන්දුවිය යුක්තව ඇප කැපවී කටයුතු කරනවා. මනුෂ්‍යත්වයේ නාමයෙන් මනුෂ්‍යත්වයට ලැබිය යුතු වරදාන වරප්‍රසාද සහ අයිතිවාසිකම් සියල්ල අපි අනිවාර්යයෙන්ම ලබා දිය යුතුමයි. පුරවැසියාට ලැබෙන අයිතිවාසිකම් සෘජු හා වක්‍ර ආකාරයෙන් රටේ පාලකයන් විසින් සිය පරිභෝජනය සඳහා යොදා ගත් යුගය අපි අවසන් කළා. ඒ අවසන් කළ යුගය වඩා අර්ථවත් කරමින් අපේ ඉදිරි ගමන් මාර්ගය තුළ පරාර්ථකාමී ජනතා සේවාවන් කඩිනමින් ආරම්භ කරනවා. මේ සෑම දෙයක්ම තුළ පරණ පරිණත මාතෘ භූමියක් ගුණාත්මක වශයෙන් උසස් මාතෘ භූමියක් විශිෂ්ට දේශයක් ප්‍රශස්ත ජන පරපුරක් නිර්මාණය කිරීමේ ගමන අපි දැඩි අධිෂ්ඨානයෙන් යුක්තව ක්‍රියා කරන්නට සැදී පැහැදී සිටිනවා. රට අභ්‍යන්තරයේ මෙන්ම ජාත්‍යන්තර ක්‍රියාදාමයන් තුළ දී අපේ ගම රටකම සහ ගමේ කමට සංස්කෘතිය හා සභ්‍යත්වය අපි අමතක කරන්නේ නැහැ එය පදනම්කරගෙන ශක්තිමත් දේශයක් අප ගොඩනඟන්න අවශ්‍යයි ශක්තිමත් දේශය තුළ මෙරට 51% ඉක්මවන කාන්තා පරපුර ගේ අයිතිය සහ ශක්තිය ඉස්මතු කරගත යුතුයි. මෙරටේ ජීවනාලිය බඳු තරුණ යොවුන් පරපුරට මෙරට අනාගතය භාරයි. දරුවකු උපත ලැබූ අවස්ථාවේ සිට පෙර පාසල් කාලය ද තරුණ හා වැඩිහිටි කාලයේදී අනාගත රට භාර ගැනීමට හැකි පරිදි සුරක්ෂිතභාවය තහවුරු කළ යුතුයි. එය අපගේ යුතුකම සහ වගකීම යි.
 

More News..