brand logo

පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිරට ඇප

21 January 2020

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර අබේසේකර මහතාව ඇප මත මුදා හැරීමට හලාවත මහාධිකරණ විනිසුරු ජගත් ඒ.කහදගම මහතා 21 වැනිදා නියෝග කරන ලදි. ඒ අනුව ලේ ඥාතීන් දෙදෙනෙකු මන්ත්‍රීවරයා වෙනුවෙන් ඇප අත්සන් කළ යුතු බවද මහාධිකරණ විනිසුරුවරයා නියම කරන ලදි. 2004 වර්ෂයේ මැයි මස 30 වැනිදා නීති විරෝධී ගිනි අවියක් සන්තකයේ තබා ගෙන අයුතු ජන රාශියක සාමාජිකයින් වී සිටියේය යැයි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර අබේසේකර ඇතුළු සිව් (04) දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් හලාවත මහාධිකරණය හමුවේ නඩු පවරා ඇත. මෙම නඩුව විභාගය ගත් අවස්ථාවේදී හලාවත මහාධිකරණය විසින් මන්ත්‍රීවරයාව ඇප මත මුදා හැර ඇත.ඇප ලබා දීමේදී විත්තිකරුවන්ට මහාධිකරණය විසින් ඇප කොන්දේසියක් පනවා ඇත.ඒ අනුව සෑම සතියකම ඉරු දින හලාවත පොලීසිය හමුවේ විත්තිකරුවන් පෙනී සිටිය යුතු වේ. පසුගිය වසරේ ඔක්තොම්බර් මස 10 වැනිදා හලාවත මහාධිකරණය හමුවේ මෙම නඩුව කැදවූ අවස්ථාවේ අනාවරණය වී ඇත්තේ විත්තිකාර මන්ත්‍රීවරයා ඇප කොන්දේසි කඩ කර ඇති බවය. එතැන් සිට අවස්ථා කීපයකදීම නඩුව කැදවන ලදි.ඒ සෑම අවස්ථාවකදීම සැකකාර මන්ත්‍රීවරයාට ඇප නියම කරන ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් ඉල්ලා සිටියේය.එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ මහාධිකරණ විනිසුරුවරිය සැකකාර මන්ත්‍රීවරයාව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදි. පසුගිය නොවැම්බර් මස 05 වැනිදා මෙම නඩුව කැදවූ අවස්ථාවේදී මන්ත්‍රීවරයාව ජනවාරි මස 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහාධිකරණ විනිසුරුවරිය නියම කරන ලදි.එදින විත්තිකාර මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් ඔහුට ඇප නියම කරන ලෙස මහාධිකරණයෙන් ඉල්ලා සිටින ලදි.එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහාධිකරණ විනිසුරුවරයා ඒ සම්බන්ධයෙන් සලකා බැලීම 21 වැනිදා දක්වා කල් තබන ලදි. විත්තකාර මන්ත්‍රීවරයාට තරයේ අවවාද කළ මහාධිකරණ විනිසුරුවරයා යහපත් කල් ක්‍රියාවෙන් ගත කරන ලෙසද විවෘත අධිකරණයේදී පැවසීය. එමෙන්ම මහාධිකරණය විසින් පනවා තිබූ සෑම ඉරු දිනකම හලාවත පොලීසියේ පෙනී සිටිය යුතුයි යන නියෝගය අවලංගු කිරීමටද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.ලබන මස 06 වැනිදා දක්වා නඩුව කල් තැබූ මහාධිකරණ විනිසුරුවරයා එදින සිට නඩුව විභාග කරන බවද පැවසීය. විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා සමග නීතිඥවරුන් වන නිහාල් සුමනධීර,සුමුදු ජයමාන්න සහ නදීශා කන්නංගර යන මහත්මා මහත්මීන්ද, පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධි නීතිඥ ලක්මාලි දිසානායක මහත්මිය අධිකරණය හමුවේ පෙනී සිටියේය. ජුඩ් සමන්ත
 

More News..