brand logo

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථාවට පටහැනියි - ශ්‍රේෂ්ඨාධිකරණය

13 December 2018

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට අගවිනිසුරු ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් තීන්දු කළා. අගවිනිසුරුවරයා වැඩිදුරටත් කියා සිටියේ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ සභා කාලය වසර 4 කුත් මාස 6 ක් ගත වන තුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැකි බවයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම් 13 විභාගයට ගැනීමෙන් අනතුරුවයි අගවිනිසුරු නලින් පෙරේරා මහතා ප්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් එම තීරණය අද ලබාදුන්නේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගිය නොවැම්බර් මස 09 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවන බවට ගැසට් නිවේදනයක් නිකුත් කළා. ඉන් අනතුරුව සිය මූලික අයිතිවාසිකම් කඩ වූ බව පවසමින් එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, සමස්ත ලංකා මහජන කොංග්‍රසය, මනෝ ගනේෂන්, ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමේ සාමාජිකයකු වන රත්නජීවන් හූල් ඇතුළු පාර්ශව 13ක් නොවැම්බර් මස 12 වැනි දා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කළා. ඒ අනුව අගවිනිසුරු නලින් පෙරේරා, බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, විජිත් මලල්ගොඩ හා මූර්දු ප්‍රනාන්දු යන සත් පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගැනුණා. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් පසුගිය 4, 5 සහ 6 වැනිදා දක්වා විභාගයට ගැනුණා. අදාළ දින තුනෙහි මෙන්ම දෙසැම්බර් මස 07 වනදාද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙත්සම් විභාගය සිදු කළ අතර එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කරනු ලැබුවේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය තාවකාලිකව බල රහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය තීන්දුව ලබාදෙන තෙක් දීර්ඝ කිරීමටයි. ඉන් අනතුරුව අද පස්වරු 4.00ට එහි තීන්දුව ලබාදෙන බව ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරී කාර්යාලය අද පෙරවරුවේ නිවේදනය කළා.
 

More News..